Category Archive

මාසික වැඩසටහන්

කඳුළට සිනහවක්

දුකින් වේදනාවෙන් කනස්සල්ලෙන් පිරුණු හිතකට සංගීතය කියන්නේ ගොඩක් හොඳ ඔසුවක්. ජීවිතයේ දුක සැප බෙදාගන්න තමන්ගේම කියල කවුරුවත් නැතුව හුදෙකලාව තනිවුනු ළමා නිවාස වල දුවා දරුවන්ගේත්, වැඩිහිටි නිවාස වල මවු පියවරුන්ගේත්, ආබාධිත නිවාස වල ජීවත් වන බොහෝ පිරිසකගේත්  හිත්වල තිබුණු දුක වේදනාව අපේ කර ගත්ත විශ්ව පාරමීයේ අපි ඔවුන් වෙනුවෙන්ම නිමවූ  වැඩසටහනයි.

මාසික වැඩසටහන් මාසික වැඩසටහන්

රුහුණු සුව නිවහන

උදෙන්ම අවදි වී කඩිමුඩියේ කුමක් හෝ  රස්සාවකට යන හැමෝම ගොම්මන් අඳුරත් එක්ක ගෙදරට ගොඩ වෙන්නේ තමන් ආදරේ කරන අයගේ උණුසුම රැකවරණය ගෙදර තියෙනවා කියලා දන්න නිසාමයි. ඒත්, අවුවෙන් බේරෙන්නවත්, වැස්සෙන් නොතෙමෙන්නවත්, දුක සැප හොයල බලන්නවත් කාත් කවුරුත් නැති වුණු  යාචකයන් පාරේ යන කාට හරි අතපාලා ඉල්ලගත්ත දෙයකින් බඩගින්දර නිවාගෙන එතනම වැටිලා නිදාගත්තේ ඒ ජීවිතේ සැප හින්ද නම් නෙමෙයි.

මේ වගේ මහ පාරේ හිඟමනට වැටිලා හිටපු මේ අසරණයන්ගේ දුක් කඳුළු කතා නිමා කරල දෙන්න සමාජ සුභ සාධන අමාත්‍යාංශය මැදිහත් වුණා. ඒ රුහුණු සුව නිවහන හා රජයේ නිවර්තන නිවාසය නමින් නිවාස දෙකක් ඔවුන් වෙනුවෙන් ඉදිකර ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන් සපුරා දෙමින් ඔවුන්ව රැක බලා ගනිමින්.

තවත් කෙනෙක් ලස්සනට ජීවත් වෙනවා දකින්න කැමති විශ්ව පාරමී අපි මේ හැම කෙනෙක්ගෙම සනීපාරක්ෂක කටයුතු වලට අවශ්‍ය සබන්, හාර්පික්, ඩෙටෝල්, රේසර් ඇතුළු සෑම අවශ්‍යතාවයක්ම ලබා දෙන්න සෑම මාසෙකම කටයුතු කරනු ලබනවා.

මාසික වැඩසටහන් මාසික වැඩසටහන්

කෘතීම කොණ්ඩ ව්‍යාපෘතිය

අපට හිමිව ඇති ජීවිතය  කෙතරම් අස්ථිරද යත්  තණ අග තිබෙන  පිනි බිංදුවකට තමයි බුදුන් වහන්සේ අපගේ ජීවිතය  උපමා කර තිබෙන්නේ. එනම්  කොයි මොහොතේ මේ ජීවිතේ අපිට අහිමි වේද කියා සිතීමට නොහැකි නිසාය .ඒ වගේම තමයි ලෝක ධර්මතාවයට අනුව අපි සන්තකයේ තියෙන හැම දේමත් එක මොහොතකින්  අපිට අහිමි වෙලා යන්න පුළුවන් බව.

ඉතින් මේ සඳහන් කරන්න යන්නේ   අපි වගේම සතුටින්  එදිනෙදා වැඩ කරගෙන ජීවත් වූ  පිරිසක් අද පත්වෙලා ඉන්න දුක්ඛිතම ඉරණමක් ගැන ය. ඒ තමයි දරුණු පිළිකා රෝගයට ගොදුරු වී  ඊට ප්‍රතිකාර ගන්න අතරේ කොණ්ඩය අහිමි වීම නිසා සමාජයට එන්නට බියෙන් සහ ලැජ්ජාවෙන් කොන් වුනු අපේම සහෝදරියන්  සහ මව්වරුන්.

ඔවුන්ගේ අසරණකම හොඳින්ම දන්න විශ්ව පාරමිය ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ පෙර තිබුණු ස්වාභාවික කොණ්ඩයට සමානව මාසිකව කෘතීම කොණ්ඩ 12 නිමවා 2018 වර්ෂයේ සිට නොකඩවා ලබාදීමට විශ්ව පරමියේ අපි කටයුතු කරගෙන යන්නේය.

කෘතීම කොන්ඩ මාසික වැඩසටහන් 

කකුළුවන්ට අභය දානය

ගහ කොළ, සතා සිවුපාවුන් සොබා දහමේ අලංකාරයත්, විවිධත්වයත් ඇති කරන්නට කරන්නා වූ මෙහෙය නම් සුළු පටු නොවේ. එහෙත්, මිනිසුන් ආත්මාර්ථකාමී ලෙස සොබා දහමේ  හිමිකරුවා වීමෙන් අනෙකුත් ජීවින්ගේ ජීවත් වීමේ අයිතියද උදුරා ගැනීම කෙතරම් නම් ශෝචනීයද?

මේ කියන්නට සැරසෙන්නේ මිනිසුන් විසින් වධ හිංසා කොට මරණය නියම කෙරූ තවත් අහිංසක සතුන් පිරිසකට යළිත් ජීවිත දානය ලබා දුන් අපූරුතම කතා පුවතක් ගැනයි… ඒ මාසිකව විශ්ව පාරමී අප පදනමේ මහා අභය දානමය පින්කමක් වූ මරණයට නියම වූ කකුළුවන් නිදහස් කිරීමේ පුණ්‍යමය කටයුත්තයි. මේ යටතේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලෙන් මිලදී ගන්නා ජීවි කකුළුවන් වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා නිවාසය අසල පිහිටි කකුළුවන්ට ජීවත් වෙන්නට අවැසි ලවණ ජලයෙන් පොහොසත් කිරුළපන ඇලට මුදා හරිනු ලබනවා..

දින ගණනාවක් පුරා තම සිරුරටම තද කොට ගැට ගැසීම නිසා වාරුව අහිමි වූ අත් කකුල් මහපොළොව මත තබා ඇවිද ගොස් දියවන්නා ඔයේ තමන්ට රිසි සේ පිහිනා යන්නේ මරණය අභිමුවේ සිටි ඔවුන් යළිත් ජීවිතය ලද්දා වූ අප්‍රමාණ සතුටකින් නොවේද?

කකුළුවන්ට අභය දානය 

සුවැති දරු සරණ

මේ ලෝකේ ඉන්න හැම අම්මෙකුටම තාත්තෙකුටම තියෙන වටිනාම වස්තුව තමයි තමන්ගේ දරුවෝ. මේ දරුවන් අසනීප වූ විට  අම්මලාට තාත්තලාට දැනෙන දුක වේදනාව මෙතෙකැයි කියා වචනයෙන් විස්තර කල නොහැකිය.මේ දුක වේදනාව දෙගුණ තෙගුණ වෙන්නේ  මේ දරුවන්ගේ ඖෂධ වගේම ප්‍රතිකාර කටයුතු වලට අවශ්‍ය කරන මුදල් හොයාගන්න බැරි වූ විටය.

එවන් දුක් වේදනාවන්  හොඳින්ම හඳුනන  විශ්ව පාරමිය  සුවැති දරු සරණ වැඩසටහන යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල හා ගාල්ල කරාපිටිය යන රෝහල් ත්‍රිත්වයේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය කරන මුදල් අවශ්‍ය වූ සැණින් රෝහල් වෙත ලබා දෙන්නට කටයුතු කරනු ලබනවා.

මාසික වැඩසටහන් මාසික වැඩසටහන්

අම්මාවරුනේ

විඳි දුක් කියන්නට සමනල කන්ද   මදි – කඳුළට දහඩියට මහා සාගර ජලය  මදි
තිළිනෙට පුදන්නට මුළු ලෝකයම මදි – අම්මා බුදු වුණත් මගෙනම් හිතට    මදි
දිළිඳු කමේ පතුලේම සිටියත් උතුම් වූ මවු සෙනෙහසෙහි අඩුවක් නොවූ ඒ උතුම් අම්මාවරුන් මහත් හරසරින් පුදන්නට විශ්ව පාරමී අප කරන්නා වූ මහා සත්කාර්ය අම්මාවරුනේ ලෙස හැඳින්වේ.

මේ යටතේ, අති දුෂ්කර ප්‍රදේශයන්හි දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මවුවරුන් 15 දෙනෙකුටත් අලුතින් උපදින කිරිකැටි බිළිඳුන් 15 දෙනෙකුටත් අවැසි ඇඳුම් පැළඳුම් ඇතුළු දරු ප්‍රසූතියේදී අත්‍යවශ්‍ය වන සෑම අවශ්‍යතාවයක්ම ලබා දෙන්නට සෑම මසකම අප කටයුතු කරන්නෙමු.

හරි හැටි ප්‍රවාහන පහසුකම් නොමැති මේ දුෂ්කර ගම්මාන වල මවුවරුන් තම දෙපයින්ම ඇවිද එන නිසා ඔවුන්ගේ ගමන් විඩාව මදකට හෝ දුරු කිරීමේ අදහසින් වැඩසටහන අතරතුර තේ පැන් සංග්‍රහය මෙන්ම, ඔවුන්ගේ දිවා ආහාරයද පෝෂ්‍යදායී ආකාරයට සකසා සංග්‍රහ කිරීමත් වැඩසටහනේ අනිවාර්ය අංගයක් වේ.

මේ වන විට පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි අම්මාවරුනේ වැඩසටහන සාර්ථකව පවත්වන්නට අපට හැකියාව ලැබුණු අතරම, මේ  මාසයේ සිට ගාල්ල දිස්ත්‍රික්කය තුළ ද අම්මාවරුනේ වැඩසටහන යටතේ, කටුක ලොවේ මිහිරිතම අත්දැකීම විඳින්නට සැරසෙන  තවත් අම්මාවරුන් සිය දහසකට ශක්තියක් වීම අප සැමගේ ඒකායන අරමුණ වන්නේය.

මාසික වැඩසටහන් මාසික වැඩසටහන්

අභය පාරමී

ජීවත් වී සිටින  සියලුදෙනාහට  හැමදේටම වඩා වටින්නේ තමන්ගේ ජීවිතය. එය  සතුන් මිනිසුන් කියා වෙනසක් නැහැ. හැමෝම කැමති තවත් දවසක් හෝ  ජීවත් වන්නටය. සත්තුන්ට වධ දීලා මරණ අයුරු    හිත් පිත් ඇති මිනිසුන්ට මොහොතක්වත් බලා සිටීමට නම් නොහැකිය.  සතුන්ට කතා කළ නොහැකි වුවත් මරණ භය දැනෙන්නේ මිනිස් සිතකට මෙන්මය.

ඒ නිසාම මරණයට නියම වෙලා ඉන්න සතුන්ට  නැවතත් ජීවිතය දෙන්න විශ්ව පාරමී අපි හැමෝම අත් වැල් බැඳ ගත්තා..  ඒ අභය පාරමී වැඩසටහන තුළින්ය . මේ යටතේ මරණ මංචකයේ මරණ භයෙන් වේදනාවෙන් විලාප දෙන ගවයන්ට යළිත් ජීවිත දානය ලබා දී මහ පොළොව සමග ගැටෙමින් ජීවිතය දිනන්නට වෙර දරන දුගී දුප්පත් පවුල් තෝරාගෙන ඔවුන්ගේ ජීවිත ගොඩනංවා ගන්නට අත්වැල සැපයීමද අපගේ අරමුණයි.

මාසික වැඩසටහන් මාසික වැඩසටහන්

අඳුරෙන් ආලෝකයට

උතුම් වූ මිනිස් ආත්මයක් ලද කෙනෙකුගේ ජීවිතය අර්ථවත්ව ගතකිරීම සඳහා උපකාර කරගත හැකි ඉන්ද්‍රියක් වූ “දෙනෙත්” කොතරම් වටිනා අවයවයක්ද යන්න ඔබ අප සියලුදෙනා දන්නා කරුණක්

එහෙත්, එතරම් වටිනා මේ දෙනෙත්,  ආබාධයන්ගෙන් පෙළුනත්, ඇස් පරීක්ෂාවක් කරගන්නට හෝ ඒ සඳහා ප්‍රතිකාර ගන්නට තරම් වත්කමක් නොවුනු බොහෝ පිරිසක් වෙනුවෙන් අක්ෂි කඳවුරු පවත්වා ඇස් කණ්නාඩි ලබා දීමත්, ඇස් වල පවතින රෝගාබාධයන් හඳුනාගෙන ඒ සඳහා යොමු කරවා නිරෝගී දෙනෙත් උරුම කර දෙන්නටත් අප කටයුතු කරනවා.

 

අත පය වාරු නැතුව, ගතින් දුබලව එක්තැන් වුණු මවු පියවරුන් බොහෝ පිරිසකට ජීවිතේ සැඳෑ සමය උරුම වුණේ වැඩිහිටි නිවාසයක පිහිට පමණයි. තමන් ආදරෙන් හදපු වඩපු දරුවන් ගැන අබ මල් රේණුවක තරම්වත් තරහක් හිතේ නොවුනු මේ මවු පියවරුන්ගේ හිත් වල තියෙන මහමෙරක් තරම් වුනු දුක තුනී කරන්නට වැඩසටහන් බොහෝමයක් මේ වන විටත් ක්‍රියාත්මක කරන්නට අපට හැකියාව ලැබුණා.

එම  වැඩසටහන් අතරතුරදී අපගේ ඇස ගැටුණු කරුණක් වූයේ  ඇස් පෙනීම දුර්වල වීම නිසා බණ පොතක් පතක් කියවගන්න තබා, තමන්ගේ එදිනෙදා ජීවිතය පවත්වගෙන යන්නත් අපහසුවෙන් ඔවුන් අසරණ වී සිටින ආකාරයයි..එම නිසාම විශ්ව පාරමිය  ඔවුන් වෙනුවෙන් සෑම වැඩිහිටි නිවාසයක් සඳහාම අක්ෂි කඳවුරක් පවත්වන්නට කටයුතු  කළා.

Latest Posts

භාෂාව තෝරන්න