සුව මනස වැඩසටහන

  2,131 views

රැයක් දවාලක් නොමැතිව වීථි පුරා ඇවිද යමින් නෙත ගැටෙන සියල්ලන්ටම අත පෑවේ කුස පුරවාගන්නට යමක් සොයා ගන්නටයි. එහෙත්, අත රැදුණු දුර්වර්ණ වූ කෝප්පය පිරුණේ කාසි වලින් නොව හී පහරවල් බඳු වදන් වලිනි. මේ, මහ මඟ සිඟමන් යදින යාචකයන්ගේ සැබෑම ජීවිත කතාවයි.

තවද, තරුණ ජවය සමඟ උරෙනුර ගැටෙමින් ඇඟේ හයියට වඩා හිතේ හයියෙන් ඔවුන් වැඩ කළේ ගතට සිනිඳු ඇඳුම් හෝ හිසට මහා මන්දිර වෙනුවෙන් නොව, එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්නට වෙනත් මගක් නොවූ නිසාවෙනි…. මේ සමාජයේ තවත් කොටසක් වූ නාටාමිවරුන්ගේ කතාවයි..

එමෙන්ම, අසරණ කම නිසාවෙන් හෝ මුදල් වුමනාව නිසාවෙන් හෝ වෘත්තියක් වශයෙන් ගණිකාවන් වූ ඔවුන් සඳහාත්..

මානසික රෝග වලින් පෙළෙන නමුත්, ප්‍රතිකාර සඳහා යොමු වන්නට හෝ ප්‍රතිකාර වලින් සුව නොවී සමාජයේ ජීවත් වන මානසික රෝගීන් සඳහාත්…

ඇතුළු මේ සිව් පිරිසම වෙනුවෙන් සමාජ සුභසාධන අමාත්‍යාංශය මඟින් තැනූ නිවහනයි රුහුණු සුව නිවහන හා රජයේ නිවර්තන නිවාසය….. මෙහි ජීවත්වන 600කට ආසන්න පිරිසක් වෙනුවෙන් ඔවුන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරා දීම 2017 වසරේ සිට මේ දක්වා අප සෑම මසකම සිදු කරන තවත් පින්සාර කටයුත්තක්.

ඒ අනුව, ඔවුන්ට අවශ්‍ය සබන්, ඩෙටෝල්, හාර්පික්, ලයිසෝල්, රේසර් වැනි ද්‍රව්‍ය වලට අමතරව කෘෂිකාර්මික කටයුතු සඳහා මල් පෝච්චි, උදළු, කැති සහ වතුර ගෙනියන බාස්කට් ඇතුළු මෙකි නොකී බොහෝ දෑ අප ලබා දෙන්නේ මහත් වුවමනාවෙන්. දැලි කුණු වලින් පිරුණු ඇඳුම් කඩමාල්ලෙන් මහ මඟ වැටී වුන් ඔවුන් මෙසේ ඉතා ප්‍රියමනාප ලෙස අපේ නෙත් ගැටෙනා විට අප හදවත් තුළ ඇති වුනා වූ අප්‍රමාන සතුට ඔබ සැමගේ සිත් තුලද ජනිත වේවා.

ඔබ මේ පහත ඡායාරූපවල දකින්නේ ලංකාවේ වෙනත් ප්‍රදේශයක ගොවිපොළක් නම් නොවේ… මේ කිසිවකුගේ හව්හරණක් නොමැතිව අන්ත අසරණව මහ මඟට වැටුණු යාචකයන්, නාටාමිවරුන් ඇතුළු ජීවිතයේ සැඳෑ සමය මහ මඟ උරුම සිටි සිටි එහෙත්,රජයේ නිවර්තන නිවාසයට එන්නට වරම් හිමි වූ ඔවුන් අප රටේ ආර්ථිකයට දක්වන්නා වූ සුවිශාල දායකත්වයයි.

බලන්න… කිසිවෙකුටත් බරක් නොවී ජීවත් වන්නට වෙර දරන ඔවුන්ගේ හැකියාවන් මල් ඵල දරා ඇති සැටි දකින ඔබගේ සිත්ද තුටින් පිරී යනවා නොඅනුමානයි.


Latest Posts

භාෂාව තෝරන්න