Category Archive

කඳුලට සිනහවක්

කඳුලට සිනහවක් | 2024 ජනවාරි

වැලිසර දෙව්සිසිරි සෙවණ වැඩිහිටි නිවාසයෙහි පැවැත්වූ කඳුලට සිනහවක් වැඩසටහන වර්ණවත් කරන්නට ආදරනීය කලාකරුවන් දෙපලක්වන ශ්‍රියානි අමරසේන මහත්මිය සහ වීනා ජයකොඩි මහත්මිය සහභාගී වූ අතර, වැඩිහිටියන් ඉතාමත් ප්‍රීතියෙන් ඔවුන් සමඟ නටමින්, ගයමින් විනෝද වූහ.

ඊට අමතරව, ජනවාරි මාසය තුළ තවත් වැඩිහිටි නිවාස සහ ළමා සංවර්ධන මධ්‍යස්ථාන හයක, 331 පිරිසකගේ සිත් සතුටින් පුරවාලන්නට අප සංගීත කණ්ඩායමට හැකි විය.

කඳුලට සිනහවක් | 2023 පෙබරවාරි

පරක් තෙරක් නොපෙනෙන මහා සයුරක් සේ මවගේ පියාගේ ගුණ සීමාකොට දැක්විය නොහැකිය. එතරම්ම දරුවන් පිළිබඳව ඇති මව්පිය සෙනෙහස අසීමිතය. කුඩා කල සිට හොඳ නරක කියා දී දරුවන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට අඩිතාලම දමන්නේ අපේ දයාබර දෙමව්පියන්ය. දරුවන් වශයෙන් ඔවුන් වෙනුවෙන් කල හැකි යම් දෙයක් වේ නම් ඒ ඔවුන් ගතින් සිතින් දුර්වල වන අවධියේ ඔවුන්ව රැක බලා ගැනීමයි. නමුත් එය නොසලකා හරින පිරිසක්ද අප සමාජයේ ජීවත් වෙනවා. එවැනි අවස්ථාවල ඒ දෙමව්පියන්ට සිදු වන්නේ වැඩිහිටි නිවාසයකට වී තම ජීවිතයේ අවසාන කාලය ගත කිරීමටයි. එසේ දුක් සෝ සුසුම් මැද ජීවත් වන මව්පියන්ගේ සිත සුව පිණිස විශ්ව පාරමී අප දියත් කරනා වැඩසටහනයි කඳුලට සිනහවක් වැඩසටහන.ඒ අනුව, මෙම මාසයේත් වැඩසටහන් දොළහක් පවත්වමින් ඔවුන්ට විනෝද වන්නට අවස්ථාව සලසා දීමට අපට හැකි විය.

කඳුලට සිනහවක් | 2023 ජනවාරි

වැඩිහිටියන් කියන්නේ අපට සම්පතක්. ඔවුන්ව රැක බල ගැනීම අපේ යුතුකමක්. නමුත් දරුවන් ගමෙන් නගරයට සංක්‍රමණය වීම, අධික කාර්යබහුලත්වය වගේම, ඇතැම්විට දෙමව්පියන් ගැන නොසලකා හැරීම වැනි විවිධ හේතූන් නිසා අද වන විට බොහොමයක් දෙමව්පියන්ට තමන්ගේ අවසාන කාලය වැඩිහිටි නිවාසයකට වී ගත කරන්න වෙලා තියෙනවා. මේ හැමෝම ඒකාකාරී ජීවන රටාවක් තුළ පාළුව, කාන්සිය වැනි විවිධ මානසික වියවුල් සමග ජීවත් වන්නේ. සංගීතය කියන්නේ මනසට සුවයක් ලබා දිය හැකි හොඳ ඔසුවක්. ඉතින් කඳුලට සිනහවක් වැඩසටහන යටතේ ඔවුන්ට ගී ගයමින් විනෝද වෙමින් ඒ ඒකාකාරී ජීවන රටාවෙන් මිදෙන්නට ඉඩ හසර සලසා දෙනවා. ඒ අනුව මෙම මාසය තුළ කඳුලට සිනහවක් වැඩසටහන් 13ක් පැවැත්වීමට හැකියාව ලැබුණි.

කඳුලට සිනහවක් | 2022 දෙසැම්බර්

කඳුලට සිනහවක් වැඩසටහන යටතේ වැඩිහිටි නිවාස තුළ පාළුවෙන් කාන්සියෙන් ජීවිත ගත කරන වැඩිහිටියන් සහ ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුළ සිටින දරුවන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් මෙවරත් වැඩසටහන් 15 පවත්වන ලදි.

කඳුලට සිනහවක් | 2022 නොවැම්බර්

බුදුන්ට පමණක් දෙවැනි වූ නිවසේ මිණි පහන අම්මා යි. ඒ පහන ආලෝකමත් කරනා පවුලේ දරදිය අදිනා යෝධ සෙවනැල්ල තාත්තා යි...

කුඩා කල සිට අප කෙරෙහි වූ දැඩි දාරකස්නේහයෙන් යුතුව කටයුතු කරනා දෙමව්පියන් හට යම් දිනකදී කාත් කවුරුත් නැති මහළු මඩමක තනි වීමට සිදුවනවා නම් සැබවින්ම අප සමාජයක් වශයෙන් පිරිහීමට ලක් වී ඇති බවට කදිම උදාහරණයකි. ඉතින් එවන් උදවිය සොයා යන ගමනේ ඇරඹුමයි කඳුලට සිනහවක් වැඩසටහන. ඒ අනුව මෙම මාසය තුලදී කඳුලට සිනහවක් වැඩසටන් 12 පවත්වා ඇත.

කඳුලට සිනහවක් | 2022 ඔක්තෝම්බර්

වැඩිහිටියන්ට සැලකීමේ උතුම් ගුණාංගය  අප අතරින් ගිලිහී යමින් පවතින සමාජයක ඔවුන්ගේ සුවදුක් සොයා බලා මොහොතකට හෝ ඔවුන්ව සතුටින් තැබීම කඳුලට සිනහවක් වැඩසටහන ඔස්සේ මෙවරත් අප සිදු කරන ලදී.

කඳුලට සිනහවක් | 2022 සැප්තැම්බර්

අප මෙලොව බිහිවූ දා සිට ආදරය, සෙනෙහස, රැකවරණය දෙමින් අනන්ත දුක් ගැහැට විඳිමින් සමාජයේ උසස් තත්වයකට ගෙන ඒමට දෙමව්පියන් දරන වෑයම කියා නිම කල නොහැකිය. ඔවුන්ගෙන් යම් පිරිසකට විවධ හේතූන් මත සිය සැඳෑ සමය වැඩිහිටි නිවාසයකට වී පාළුවෙන් කාන්සියෙන් ගත කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ මලානික මුහුණු වලට සිනහවක් කැන්දන්නට අප සංගීත කණ්ඩායමට හැකි වුනේ මෙලෙසිනි.

කඳුලට සිනහවක් | 2022 අගෝස්තු

අගෝස්තු මාසයේදීත් වැඩිහිටි නිවාස 9ක වැඩසටහන් පැවැත්වූ අතර එහි සිටි අම්මලා තාත්තලා ඔවුන්ගේ දුක් වේදනා සියල්ලක්ම අමතක කර ගීත ගයමින්, නටමින් විනෝද වූයේ මෙලෙසිනි.

 

කඳුලට සිනහවක්|2022 ජුලි

සුපුරුදු පරිදි මෙම මාසයේත් වැඩිහිටි නිවාසවල ඒකාකාරී ජීවිතයක් ගත කරන අපේම අම්මලා තාත්තලාගේ මෙන්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල වල සිටින පුංචි දරුවන්ගේ සිත්සතන් වලට සතුට කැන්දන්න අපේ සංගීත කණ්ඩායමට හැකි වුණි.


Latest Posts

භාෂාව තෝරන්න