Category Archive

ප්‍රජාසත්කාර

වියළි ආහාර බෙදා දීම

කොළඹ අවට මහා මාර්ග  පිරිසිදුව තබා ගැනීමට වෙහෙසෙන පුද්ගලයින් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රාශියකින් යුත් වියළි ආහාර පාර්සල්  බෙදා  දීම දෙසැම්බර් මස 17 වන දින සිදු කරනු ලැබුවා.

ළමා පෝෂණය | මුන්දලම

නීරෝගීමත් දරු පරපුරක් ගොඩ නැගීමේ අරමුණින් විශ්ව පාරමී අප විසින් ආරම්භ කල “ ළමා පෝෂණය” වැඩසටහන මෙම මාසයේත් පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේදී පැවැත්වුණි. එහිදී එම ප්‍රදේශයේ මන්ද පෝෂණ තත්වයේ පසුවන දරුවන් සිටින පවුල් 20 ක් තෝරාගෙන සහල්, කඩල, කවුපි, මුං ඇට, හාල්මැස්සෝ, ඇතුළු ද්‍රව්‍ය රැසකින් යුත් පෝෂණ සලාකයක් බෙදා දෙනු ලැබුණි.

ලෝක ළමා දිනය

සැමවිටම දරුවන්ගේ සුභසිද්ධිය  වෙනුවෙන්  කටයුතු කරන පිරිසක් ලෙස විශ්ව පාරමී අප මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ගේ පෝෂණය නගා සිටුවීමට මෙන්ම ඔවුන්ටම වෙන්වූ දවස සතුටින් ගත කිරීම සඳහා වැඩසටහනක් සංවිධානය කරනු ලැබුවා. ඒ අනුව, නාගොඩ, ස්නාවක ජුවාම්තුමාගේ දේවස්ථානයේදී, එම ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පවුල්වල දරුවන් 65 දෙනෙකු උදෙසා පෝෂණ ද්‍රව්‍ය රැසකින් සමන්විත පෝෂණ සලාකයක් ලබා දීම සිදු කරනු ලැබුවා.

ඒ වගේම පැමිණි සියලුම දරුන්ට ඔවුන් බොහොමත්ම කැමති ආහාර පාන වලින් සංග්‍රහ කිරීමටත් අප අමතක කළේ නැහැ.

මුහුදු රැල්ලේ පහස නොදැනුනු ජේෂ්ඨ පුරවැසියන්

ගමත්, නගරයත්, මුළු ලෝකයත් එකට යා වූ අතිශය දියුණු වූ ලෝකයක මහ මුහුද තම සියැසින් නොදැකපු  මුහුදු රැල්ලේ පහස තම දෙපයට නොදැනුනු පුද්ගලයකු සිටී දැයි ඔබට විශ්වාස කල හැකිද?

ඔව්, අපේ රටේ ඉතා දුෂ්කර ප්‍රදේශවල එවැනි අය ඕනෑතරම් ඉන්නවා. ගල්නෑව කියන ඈත එපිට ගම් ප්‍රදේශයේ පිහිටා ඇති ධාතුසේන ගොවි සුබසාධක සමිතියේ සාමාජික මහත්ම මහත්මීන් තමන් සියැසින් නොදුටු මහා සාගරය දැකීමේ නොඉවසිල්ලෙන් පසු වුනා. එහි සිටින සාමාජිකයින් 75ස් දෙනෙකු සඳහා  මන්නාරම මුහුදු වෙරළ සහ තවත් ස්ථාන කිහිපයක් නැරඹීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දී ඔවුන්ගේ සිහින සැබෑ කරන්නට අප භාග්‍යමත් උනා

රෝදපුටු ලබා දීම

උපතින්ම දෙපයින් නැගී සිටීමට නොහැකි හා විවිධ අනතුරු හේතුවෙන් දෙපා අහිමි වූවන්ට ශක්තියක් වෙමින් 2022 අප්‍රේල් මාසය දක්වා රෝද පුටු 12ක් පරිත්‍යාග කරන ලදී.

වියළි ආහාර ලබා දීම|දික්ඔය

අඩු ආදායම්ලාභී පවුල්

රටෙහි පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් නැති බැරි අය මෙන්ම ඇති හැකි අයත් බොහෝ දුෂ්කරතා වලට මුහුණ පා සිටිනවා. එවැනි අවස්ථාවක නුවරඑළිය දිස්ත්‍රික්කයේ දික්ඔය ග්‍රාමයේ තේ දළු නෙලමින් එදිනෙදා සුළු මුදලක් සොයාගෙන ජීවත් වෙන ඉතා දිළිඳු පවුල් සහ අබාධිත සාමාජිකයින් සහිත පවුල් 45ක් සඳහා වියළි ආහාර ලබා දීම  විශ්ව පාරමී අප විසින් සිදු කරන ලදි. ඔවුන් සියලු දෙනා වතුකරයේ ජිවත්වන අපේම සහෝදර දෙමළ ජනතාවයි.

සුනේත්‍රාදේවි ළමා නිවාසය

ජීවන බරින් මිරිකී දිවි ගෙවන වතුකරයේ කාන්තාවන්ගේ ප්‍රධාන රැකියාව තේ දළු නෙලිමයි. මුළු දවස පුරාම දහදිය හෙලමින් වැඩ කරන ඔවුන්ට තම සිඟිති දරුවන් බලා කියා ගන්නට හැකියාවක් නොමැත. දික්ඔය ප්‍රදේශයේ ඇති සුනේත්‍රාදේවි ළමා නිවාසය බිළිඳු අවදියේ පටන්ම එවැනි දරුවන්ව රැක බලා ගන්නා ස්ථානයකි. නමුත් එම ස්ථානයත් බොහෝ අසීරුතා මැද පවත්වාගෙන යනු ලබන අතර, දැනට එහි ළමුන් 25ක් පමණ සිටින අතර, ඔවුන් සඳහා වියළි ආහාර ලබා දීමට අප කටයුතු කරන ලදි.

කාල දානය

vishvaparami_aranya_monk

ආහාර හිඟ දුර්භික්ෂ කාල වලදී පිරිනමනා දානය සංසාර ජීවිතයේදී සුදුසු කල්හි සුදුසු දේ ලැබීම පිණිස හේතු වන්නා වූ මහත් ඵල මහානිසංස “කාල දානයක්” ලෙස භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේ කාල දාන සුත්‍රයේදී දේශනා කොට තිබේ.  එබඳු “කාල දාන” පූජා කිරීමට සෑම කල්හිම අපහට අවස්ථාව නොලැබේ. මේ උදා වී ඇත්තේ එබඳු අවස්ථාවකි.

vishvaparami_aranaya_senasana

අප මාතෘ භුමිය පුරා කෝවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ ඇතිවී තිබෙන හදිසි තත්ත්වය නිසා බොහෝ දෙනෙකු හට එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය ආහාර පාන පවා සපයා ගැනීමට දුෂ්කර තත්ත්වයක් ඇතිවී තිබේ. ගිහි ජනතාව එවන් අපහසුතාවයන් වලට පත්වන විට එකී ගිහි ශ්‍රාවකයන්ගෙන් ලැබෙන්නා වූ සිවු පසයෙන් තම බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහ ලබනා පින්වත් ස්වාමින් වහන්සේලා සහ දසසිල් මාතාවන්ද, වැඩිහිටි නිවාස සහ ළමා නිවාස වල පිළිසරණ ලබනා අපේම මව් පිය දූ දරුවන්ද දැඩි අපහසුතාවයන්ට පත්වීම නිරායාසයෙන්ම සිදුවේ.

එවන් තත්ත්වයක් තුල සිව්පසය හිඟ වීමෙන් අපහසුතාවයන්ට ලක්වන සිල්වත් ගුණවත් මහා සංඝරත්නයටත්, දසසිල් මාතවන්ටත් මෙන්ම වැඩිහිටි නිවාස, ළමා නිවාස ආදියෙහි අසරණව සිටිනා අපේම දෙමව්පිය, දූ දරු පිරිසටත් දුගී යාචක පිරිසටත් මේ දුෂ්කර මොහොතේ උපකාර කිරීමෙන්, ඊට දායක වීමෙන්  අප සියලු දෙනා මේ රැස් කරන්නේ මහත්ඵල මහානිසංසදායක “කාල දානමය” පිනකි. එනිසා සතුටුවන්න. මේ රැස්වන පින සංසාර ජිවිතයේ සුදුසු කාලයේදී, සුදුසු දේම ලැබීම පිණිස ඒකාන්තයෙන්ම ඔබහට හේතු වාසනා වනු ඇත. මේ අනුව නිරෝදාන ඇදිරිනීතිය බලපැවැත්වෙන බස්නාහිර පළාතේ,  අරණ්‍ය සේනාසන 25  කටත්, වැඩිහිටි නිවාස 39 කටත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන 83 කටත් කොළඹ අවට ජීවත් වන්නා වූ අසරණ දුගී යාචක පිරිසටත්  “ කාල දානය” පූජා කිරීමට තරම් විශ්ව පාරමී කණ්ඩායමේ අප භාග්‍යවන්තයන් වුණෙමු.

වැඩිහිටි නිවාස සහ ළමා සංවර්ධන මධ්‍යස්ථාන
අසරණ දුගී යාචකයන්

මේ උදාර කර්තව්‍ය සඳහා වෙහෙසී ක්‍රියා කරමින් කැපවන පින්වත් විශ්ව පාරමී සමසේවක කණ්ඩායමත්  මෙන්ම මෙම පිංකම දැක බලා සතුටුවන සෙසු සාමාජිකයන් සහ කල්‍යාණ මිතුර කැලත් මේ පින් අනුමෝදනා වී, එහි පුණ්‍යානුභාවයෙන් ඔබ සැම නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!

ස්‌වයං රැකියා

තම හැකියාවත්, කැපවීමත් තුළින් ජීවිත ගොඩනගා ගන්නට වෙහෙසන මේ මිහිකතේ තවත් දිරිය මිනිසුන් 08 දෙනෙක් වෙනුවෙන් විවිධ ස්වයං රැකියා සඳහා දිරියක් වන්නට ගෙවුණු අගෝස්තු මාසයේදී  අපට හැකියාව ලැබුණා. 

රෝද පුටු පරිත්‍යාගය

නොහැකිමුත් දෙන්නට දෙපා – ඇවිද යන්නට ඔබට රිසි සේ

අත්වැලක් වෙන්නම් මෙසේ අප – ජීවිතේ සුසුමන් නිවාලන

දෙපයින් නැගී සිටින්නට වරම් අහිමි වුනු තවත් අසරණ රෝගීන් 05 දෙනෙකු සඳහා මේ අගෝස්තු මාසයේදී රෝද පුටු ලබා දීමට කටයුතු කරනු ලැබුවා.

 

කඳුලට සිනහවක්

තම කුසට අහරක් නැතිව, නෙතට නිදි නැතිව, රැය පහන් කරමින් මතු දවසක තම පුතුන් රජුන් කරන්නට උතුම් අම්මාවරුන්, උතුම් පියවරුන් විඳින ලද අනේකවිද දුක් කඳුළු පිසදා සිනාසෙන්නටත්.. ඔවුන්ගෙන් සැනසෙන්නටත් සිතූ පැතූ එම සිහින බොඳව ගොස්, මහළුව ගතින් දුබල වූ ඔවුන්ගේ එකම පිළිසරණ  වූ මහළු නිවාසයක බිත්ති අතර තනිව, තම ජීවිතය ගෙවා දමනා ඔවුන්ගේ දෙනෙත් නිතර කඳුලින් තෙමී බොඳව යන්නේ තම දුවා දරුවන් තමා ළඟ සිටිය යුතුම වූ අවධියේ ඔවුන් තමා අතැර යාමේ වාවාගත නොහැකි වූ දුක ඉවසා දරා ගත නොහැකිම වූ නිසාවෙනි.

වාරුව නැති වී පාළුව සමඟින් මහලු වෙලා මා ඉන්න වෙලේ

මා පිළිගන්නට බලා සිටින්නේ මරණය හැර වෙන කවුද ලොවේ

ඉඳහිට කවුරුත් මාව බලන්නට එනවිට සිත තුළ සතුට පිරේ

පාළුව තනිකම මකා දමන්නට නිතරම කඳුළැලි දෙනෙතේ රැඳේ

එළිවෙයි රෑ වෙයි දවස ගෙවී යයි වෙනසක් මට නෑ තේරෙන්නේ

දවසේ පැය ටික ගෙවා දමන්නට නිදි පැදුරේ ඉඳ නොමැරී මැරේ.


Latest Posts

භාෂාව තෝරන්න