Category Archive

ජාතික වැඩසටහන්

සාදු සාදු අපිත් වඳිමු ගෞතම මුණි සිරිපා

ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හඳුන්වති. බෞද්ධ ජනයා මෙම පූජනීය කන්ද හඳුන්වන්නේ “ශ්‍රීපාද” යන නාමයෙනි. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි. මීට වසර 2564 කට පෙර, අප මහා කාරුණිකයාණෝ තෙවන වරට ලක්දිවට වැඩම වූ අවස්ථාවේදී සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන්ගේ ඉල්ලීමකට අනුව, කඳු මුදුනේ උන් වහන්සේගේ වාම  සිරි පතුල සලකුණු කොට ඇති බව බෞද්ධයන්ගේ විශ්වාසය යි. එතැන් පටන් ශ්‍රුද්ධා භක්තියෙන් ඔද වැඩුණු සැදැහැතියන් අති දුෂ්කර මාර්ගයන් පවා නොතකමින් බුදු සිරිපා කරුණා කරන්නට පෙළ ගැසුණෝය.

එමෙන්ම, Adam’s Peak නාමය එක් වන්නේ, කිතුනු බැතිමතුන් විශ්වාස කරන පරිදි, ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බව ය. තවද, මුස්ලිම් බැතිමතුන්ද සිරිපා කරුණාවට එක් වන්නේ ඔවුන්ගේ දෙවියන්ගේ  පා සටහන් සලකුණු වන්දනාමාන කර ගැනීමේ අදහසිනි. දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. ලෝකයේ ප්‍රධාන ජාතීන් 4ක් එකට වන්දනාමාන කරන එකම කන්ද ලෙස ශ්‍රීපාදස්ථානය හැඳින්විය හැක. 

ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ, සමනළයන් උන්ගේ වාර්ෂික සංක්‍රමණයේ දී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා “සමන්ත කූට” යන නමින් ද ශ්‍රීපාදස්ථානය හඳුන්වයි.

බුද්ධං සරණේ සිරස දරාගෙන – ධම්මං සරණේ සිත් පහදාගෙන

සංඝං සරණේ සිවුරු දරාගෙන – ඉන්නයි මේ තුන් සරණේ අදහාගෙන.

පැරණි මාර්ග

ශ්‍රීපාදස්ථානයට පිවිසීම සඳහා මාර්ග හයක්  භාවිතා කළ හැක. ඒවා නම් හැටන්-නල්ලතන්නි, රත්නපුර-පලාබද්දල, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මුකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ගයි. ඒ සඳහා ඇති කෙටිම  සහ බොහෝ දෙනෙක් භාවිතා කරන මාර්ගය නම් හැටන් – නල්ලතන්නි මාර්ගයයි. වසර ගණනාවකින් පූර්ණ ප්‍රතිසංස්කරණයක් නොවුණු කිලෝමීටර්  6 කටත් අධික, දුෂ්කර සිරිපා  නල්ලතන්නි මාර්ගය පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය තදින්ම තිබූ මොහොතක  ශ්‍රී පාදස්ථාන නායක ස්ථිවිරයන් වහන්ස අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ගේ ශ්‍රුම දායකත්වයෙන් කටයුතු අරඹන්නට විශ්ව පාරමී පදනම මූලිකත්වය ගනු ලැබුවේ 2018 සැප්තැම්බර් 13 වැනිදාය.

සේදී ගිය පැරණි මාර්ගය කොන්ක්‍රීට් කිරීමත්, තැන තැන කැඩී ගොස් අබලන්ව ගිය පඩි වෙනුවට සුව පහසු පඩිපෙළත්, බාල මහළු කොයි කාගේත් ගමන් විඩාව දුරු කළ හැකිවන පරිදි තැනුණු අත්වැටත් තවත් චිරාත් කාලයක් පවතින සේ ප්‍රතිසංස්කරණය කරන ලදී. මීට අමතරව, සැදැහැවතුන්ගේ පරිහරණය සඳහා පැවති වැසිකිළි පද්ධතියම මුළුමනින්ම නවීන අංගෝපාංග යොදා ගනිමින් නිමකරනු ලැබුවේ  එයද අත්‍යවශ්‍ය කරුණක් වූ බැවිනි.

ඉඳහිට අත රැඳෙන කුඩා ගමන් මල්ලක් හැරෙන්නට වෙනත් කිසිත් නොමැතිව පවා මහත් අපහසුවකින් තරණය කරන මෙම මඟ තැනීම සඳහා අවැසි ගල්, වැලි ඇතුළු සියළුම අමුද්‍රව්‍යන් පුරවාගෙන ඔවුන්ගේ කරමතින්ම උඩට ගෙන යමින් දිවා රෑ නොබලා, අව් වැසි නොතකමින්, දිරියෙන්, වීර්යයෙන් නොපමාව කටයුතු කළ නාවික හමුදා සාමාජිකයන් ඉටුකළ මෙහෙය නම් පැසසුමට ලක් කළ යුතුමය. මෙම මාර්ගය පිළිසකර කිරීමට අවුරුදු දෙකක කාලයක් ගත වූ අතර සිරිපා වන්දනා සමයේ එනම්, සෑම වසරකම දෙසැම්බර් මස පසළොස්වක පෝදා සිට වෙසක් පසළොස්වක පෝදා දක්වා බැතිමතුන්ට බාධාවක් නොවන අයුරින් අර්ධ කාලීනව මාර්ගය  සංවර්ධන කටයුතු කල අතර, ඉතිරි මාස 6 පූර්ණ කාලීනව ශ්‍රම දායකත්වය ලබාදුනි.

2020 දෙසැම්බර් මස 29 වන උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වූ සිරිපා වන්දනා සමය සමඟ ඉතා සුවපහසු ආකාරයෙන් සිරිපා වන්දනා කිරිම පිණිස තැනූ සිරිපා මාර්ගය දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පරිහරණය වෙනුවෙන් මෙසේ බැති සිතින් ශ්‍රී පාදස්ථාන නායක ස්ථිවිරයන් වහන්ස අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ වෙත විශ්ව පාරමී සහ නාවික හමුදාවේ සාමාජිකයන් විසින් පූජා කල බව මෙත් සිතින් මෙසේ සටහන් කරමු.

මෙලෙස ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කළ සිරිපා මග සඟ සතු කිරීමෙන් අනතුරුව, මේ ඓතිහාසික පිංකම පිළිබඳව සටහන් කෙරුණු සමරු පලකය සිරිපා වන්දනා කරන දහස් සංඛ්‍යාත බැතිමතුන් ඇතුළු අනාගත පරපුරට දැක බලා සතුටු වී පිං රැස් කරගැනීම පිණිස මෙසේ ස්ථාපිත කරන ලදී.

බුදු සිරිපා වඳින්නට පුදන්නට සැදැහැ සිතින් සිරිපා කරුණා කරන බැතිමතුන් තබන තබන පියවරක් පාසා එයින් ජනිත වූ සියළු පින් බෙලෙන් මේ සඳහා දායක වූ සියල්ලන්ගේම ජිවිත ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා.!!

සිරිපා පියුමේ . . රොන් සුනු තැවරී

ගිමන් නිවන පවන් හමා ඒ . . නිවී පහන් වී ළය සැනැහේ

නිවන් මගට මග පානා . . සමනොළ රන්ගිර මුදුනේ

බැන්ද වියන් සේ . . අරුනු වලා රන් සළු පැටලේ

සිත කිමිදේ . . ලොව්තුරු සුවඳේ

දළදා වන්දනා | පල්ලේමාලේ විහාරය ප්‍රතිසංස්කරණය කිරීම

බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප‍්‍රථම දළදා මාලිගාව ගොඩනඟා ඇත්තේ ක‍්‍රි.ව. 1592-1604 අතර කාලයේ රජ කළ පළමු වෙනි විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදි කළ දළදා මාලිගාව පෘතුගීසි ආක‍්‍රමණිකයෝ විනාශ කළ බව ඉතිහාසයේ දැක්වේ. අනතුරුව එම දළදා මාලිගාව පිහිටා තිබූ ස්ථානයේම දෙවන රාජසිංහ රජු විසින් (ක‍්‍රි.ව. 1635–1387) මහනුවර දෙවන දළදා මාලිගාව ඉදි කර ඇත. 

බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප‍්‍රථම දළදා මාලිගාව ගොඩනඟා ඇත්තේ ක‍්‍රි.ව. 1592-1604 අතර කාලයේ රජ කළ පළමු වෙනි විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදි කළ දළදා මාලිගාව පෘතුගීසි ආක‍්‍රමණිකයෝ විනාශ කළ බව ඉතිහාසයේ දැක්වේ. අනතුරුව එම දළදා මාලිගාව පිහිටා තිබූ ස්ථානයේම දෙවන රාජසිංහ රජු විසින් (ක‍්‍රි.ව. 1635–1387) මහනුවර දෙවන දළදා මාලිගාව ඉදි කර ඇත. 

ශ්‍රී දළදා මාලිගාව ලෝක පූජිත වූ ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයකි. නොකඩවාම දිනපතා දෙස් විදෙස් බැතිමතුන් ගේ හා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ ගෞරව පූජෝපහාරයට පාත‍්‍රවන්නා වූ මේ සිද්ධස්ථානය වර්ෂ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

එවන් පින් බිමක විශ්ව පාරමී පදනමේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු කීපයක්ම සාර්ථකව නිමකිරීමට මේ වන විටත් අප සමත්වී ඇත. ඉන් මුලින්ම වැඩසිටින මාලිගයේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කොට ඇති සුගන්ද කුටියේ පිවිසුම් දොරටුවෙහි ඇතුලත සහ පිටත රන් ආලේප කරමින් එම දොරටු දෙක ප්‍රතිසංස්කරණ කිරීමත්, දෙවනුව දන්ත ධාතුන් වහන්සේ හට රන් නෙළුම් මලක් පූජා කිරීමත් සිදුකළේය. එය කරඬුව ඉදිරිපිට තැන්පත් කොට ඇත.

රන් ආලේපිත පිවිසුම් දොරටුව
රන් නෙළුම් මලක් පූජා කිරීම

තුන්වනුව වැඩසිටින මාලිගයේ සම්පූර්ණ බිම කළුවර සහ කුඹුක් ලීයෙන් ප්‍රතිසංස්කරණය කිරීමත්, ඊට වටිනා කළා නිර්මාණයක් එක් කරමින් මහනුවර යුගයේ සඳකඩ පහන් දෙකක් එක් කරමින් තවත් ගෞරවනීය බවක් එක් කළේය.  ඊට සමගාමීව දන්ත ධාතූන් වහන්සේට දිනපතා පූජාකරන මුළුතැන්ගේ දානය පිළිගැන්වෙන  පැරණි පාත්තර සියල්ල රිදී ආලේප කිරීමත් සිදුකළේය.

මහනුවර යුගයේ සඳකඩ පහන් දෙකක්
පාත්තර සියල්ල රිදී ආලේප කිරීම

පල්ලේමාලේ විහාරය ප්‍රතිසංස්කරණය කිරීම

සිවු වනුව පසුගියදා එනම් ජූලි මස 24 වැනිදා දළදා මාලිගාව තුල ඇති ප්‍රධාන ස්ථාන වලින් වැඩසිටින මාලිගයට පසුව ඇති තවත් ප්‍රධාන ස්ථානයක් වන පල්ලේමාලේ විහාරයේ ඉපැරණි තඹ බුදුපිළිමය තබා ඇති ආසනය සම්පූර්ණයෙන්ම මහනුවර යුගයේ කැටයම්වලින් අලංකාර කරමින් මනාව ප්‍රතිසංස්කරණ කොට පූජා කල බව මෙත්  සිතින් මෙසේ සටහන් කරමු. පල්ලේමාලේ විහාරයේ ඇති විශේෂත්වය නම් එය එදා රජ දවසේ රජතුමාගේත් බිසවගේත්  උදේ සවස වන්දනා මාන කටයුතු කල බුදු කුටිය වීමයි. මෙහි ඇති පැරණි බිතිසිතුවම් මෙන්ම විශේෂ විෂ්ණු රූපය එහි ගාම්භීර බව කියා පාන්නේය.

විල්ගම් වෙහෙර මහා සෑය

විල්ගම් වෙහෙර මහා සෑ සිරසෙහි චූඩා මාණික්‍ය පැළඳවීමේ අති උතුම් පිංකම මෙසේ සිදු කළ වගයි.

තුන් හෙළයම එක් සේසත් කල අතීත රජ සමය අපට කියා පාන්නේ ප්‍රෞඩ ඉතිහාසයක අභිමානවත් බවයි. පරපුරෙන් පරපුරට බුදු දහම දායාදව රජකම උරුම වූ රජවරුන් තම පාලන සමය විශිෂ්ටවත් කිරීම සඳහා තම දිවි දෙවැනි කොට උතුම් ශ්‍රද්ධාවෙන් තැනූ වෙහෙර විහාර මේ යුගයේ ජීවත් වන අපව විස්මයට පත් කරන්නට සමත්ව ඇත. එලෙස, මීට වසර 2300කට පෙර ගිරි අභය රජ විසින් විල්ගම් වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරනු ලැබූ අතර, එතැන් පටන් දෙව් ලොව දෙවියන්ගේත්, බඹ ලොව බඹුන්ගේත්, නා ලොව නාගයන්ගේත්, මනු ලොව මිනිසුන්ගේත් අපමණ වන්දනාවට පාත්‍ර වූ ඒ මහා චෛත්‍ය රාජයාණන් සතුරු ආක්‍රමන හමුවේ විනාශව කාලයාගේ ඇවෑමෙන් යටපත්ව ගොසිනි.

එවන් ඉතා වටිනා ඉපැරණි මේ පින් බිම මතු පරපුර වෙත දායාද කිරීමේ උතුම් චේතනාවන් පෙරදැරිව  2016 වසරේ ජනවාරි මස එහි වැඩකටයුතු අරඹන්නට විශ්ව පාරමි පදනම මූලිකත්වය ගනු ලැබුවා.

එසේ  සැදැහැ සිතින් අරඹන ලද විල්ගම් වෙහෙර පරිශ්‍රුයෙහි වැඩකටයුතු පියවරෙන් පියවර නිම කිරීමට නියමිතයි. මේ අතර, පසුගිය මැයි මාසයේ යෙදුණු සුභ මොහොතින් අළුදෙනියේ සුබෝධි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සඟ රුවනේ ආශිර්වාදයෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තීන්ත ආලේප කිරීම සිදු කරන්නට යෙදුණා.

ගඩොලින් තැනූ වැලි මළුවක් සහිතවූ එම පුණ්‍යභූමිය අපට පෙන්වා දෙන්නේ එහි ඇති අති පෞරාණික බවයි.

සියලු වැඩ නිම වූ චෛත්‍ය රාජයාණන් වහන්සේට චූඩා මාණික්‍ය පැළඳවීමේ පින්කමට මූලාරම්භය වශයෙන් 2020 ජුනි මස 27 වන දින චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා කංචුක තුනකින් සැරසීමට කටයුතු කරන ලදී. අනතුරුව ඕලු, නෙළුම්,මහනෙල් මලින් පිරවූ මැටි කල වලින්ද,  පුන්   කලස්  වලින්ද,   සුවිශේෂී   ආකාරයට   දැල්වූ   පහන්ද  චෛත්‍ය  වටා  තබමින් ආලෝකමත් කරන ලදී.

මුළු මහත් පූජා භූමියම බෞද්ධ කොඩි වලින් සරසා විදුලි බුබුළු වලින් ආලෝකමත් කරමින්,චෛත්‍ය වටා සුවඳ දුමින් දසත සුවඳවත් කරනු ලැබුවා. අනතුරුව, හේවිසි ශබ්ධ පූජා මධ්‍යයේ නව සංඝාවාසයේ සිට චෛත්‍ය මළුව වෙත කොත් වහන්සේ සහ චූඩා මාණික්‍යය වැඩම කරවා සම්බුද්ධ අෂ්ට පාන සහ ගිලන්පස පූජාව පැවැත්වීමෙන් අනතුරුව, විල්ගම් වෙහෙර මහා සෑ වන්දනාව පවත්වන්නටද යෙදුණා. අනතුරුව, පැය දෙකක පමණ කාලයක් සැදැහැතියන්ගේ වන්දනාමාන කටයුතු සඳහා චූඩා මාණික්‍යය පූජා භූමිය තුළ ප්‍රදර්ශනය කරනු ලැබුවා.

පහන් වූ පසු දින එනම්, 2020 ජුනි 28 වෙනි දින ගරුතර මහා සංඝ රත්නයේ මූලිකත්වයෙන් හේවිසි නාද මධ්‍යයේ චූඩා මාණික්‍යය සහිත කොත් වහන්සේ චෛත්‍ය මළුව වෙත වැඩම කරවා මහා සෑය වටා පැදකුනු කොට මහා සෑ මස්තකයට වැඩම කරවනු ලැබුවා.

පසුව, දහසක් බුදුන් බුදු වූ ඒ පින්බර හිමිදිරි උදෑසන හිරු උදාවත් සමග යෙදුණු සුභ මොහොතින් චෛත්‍ය වටා හේවිසි කරුවන්ගේ හේවිසි හඬ, හක්ගෙඩි සහ මගුල් බෙර හඬ පෙරටුකොටගත් සෙත්පිරිත් බුදු ගුණ සජ්ඣායනා සහ දස දහසක් සාදු නාද මධ්‍යයේ ඉන්දියාවෙන් මෙරටට වැඩමවන ලද ඉතා වටිනා චූඩා මාණික්‍යය සහිත පාදම, කොත් වහන්සේ මත, එනම් චෛත්‍ය රාජයාණන් සිරසෙහි තැන්පත් කරනු ලැබුවා. අනතුරුව, මහ සඟරුවනේ ආශීර්වාදයෙන් සුවඳ පැනින්ද චූඩා මාණික්‍යය දෝවනය කරණු ලැබුවා.   

රන් බන්දේසි මත ඉතා සුපිරිසිදුව කිරි ආහාර, පිච්ච මල් සහ ඖෂධ පිළියෙළ කොට ඒ සියලුම පූජාවන් අප මහා අමා මෑණි බුදුපියාණන් වහන්සේට පූජා කරනු ලැබුවා.

ඉන් අනතුරුව, පැමිණි සිටි සියල්ලන්ගේ සාදු නාද මධ්‍යයේ  මහා සෑ මළුවෙහි ගම්පහ ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේත්, කිරිත්බත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේත්, අළුදෙනියේ සුබෝධි ස්වාමීන් වහන්සේත්, පෙරටු කොටගත් ස්වාමින් වහන්සේලා130ක් නමක් පිණ්ඩපාත චාරිකා කළ අතර, එම ස්වාමීන් වහන්සේලා උදෙසා අති මහත් ශ්‍රුද්ධාවෙන් පිළියෙළ කළා වූ හීල් දානය පූජා කරනු ලැබුවා. ස්වාමින් වහන්සේලා සඳහා අෂ්ට පරිෂ්කාර ඇතුළුව අනෙකුත් පිරිකරද පූජා කිරීමෙන් ද අනතුරුව ධර්මානුශාසනාව පවත්වනු ලැබුවා.

අවසානේ පැමිණි සිටි සියල්ලන් වෙනුවෙන් කිරිබත්, කැවුම්, කොකිස් වලින් සංග්‍රහ කොට වැඩසටහනේ නිමාව දුටුවා.

ශ්වේත වර්ණයෙන් බබළමින්, දුටු දුටුවන් සිත් නිවා සනසන විල්ගම් වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉතාමත් නුදුරේදීම දස දහස් ගණන් සැදැහැතියන්ගේ උතුම් වන්දනාවට පාත්‍රු වනු ඇති. මෙත් සිත් පෙරදැරිව, පින් සිත් වඩන්නට විශ්ව පාරමී අප දරන්නා වූ වෑයම ඔබගේ දෙනෙතින් දැක බලා සාදු සිතින් අනුමෝදන් වීමට ඔබ සෑම දෙනාටම හැකි වේවා . ! සාදු !!! සාදු !!! සාදු !!!

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය රත්නය සෑ මළුවේ සුගන්ධ කුටියෙහි තැන්පත් කල වගයි

අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ රජ දරුවන් බුදුන් පුදන්නට නිමැවූ දෑස් අදහාගත නොහැකි විස්මිත නිමැවුම් වර්තමානයේද බොදුණු සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව වඩාත් තීව්‍ර කරගනු වස් ශේෂව තිබීම කෙතරම් නම් භාග්‍යක්ද ?

එවන් විස්මිත නිමැවුම් අතරින් දුටුගැමුණු රජු විසින් තුන්ලොවට තිළිණ කළා  වූ අප මහා තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදි කළා වූත්, සම්බුද්ධ ශාසනය නිමාවන දින ධාතු පරිනිර්වාණය  සිදු වන තාක් තැන්පත්ව පවතින්නාවූත් ඒ මහා අසම සම රුවන්වැලි මහා සෑය 1940 වර්ෂයේදී රන්සිරිනෙල් මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ප්‍රතිසංසකරණය කරන්නට යෙදුණි. ඉන් අනතුරුව රජයකින් රජයකට කරන සහයෝගයක් ලෙස බුරුම රජයෙන් පරිත්‍යාග කෙරුණු ඉතා වටිනා චූඩා මාණික්‍ය 1940 ජුනි මස 17 වැනි දින   මහා සෑයේ කොත් වහන්සේ මත තැන්පත් කරන ලදී.

එතැන් පටන් එම චූඩා මාණික්‍ය විශ්ව පාරමී පදනමේ මුලිකත්වයෙන් 2019 වසරේ නොවැම්බර් මස 25 වැනිදා නව චූඩා මාණික්‍ය තැන්පත් කරන තෙක් වසර 80ක් පුරාවට  මේ මහා විශ්වයටම සෙත සැලසුවාය. අප අමා මෑණි තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ බුද්ධ ශක්තිය දසත විහිදුවාලමින්  විරාජමානව මහා සෑ කොත මුදුනෙහි තැන්පත්ව තිබූ ඉපැරණි චූඩා  මාණික්‍යය බුරුම රට හා ඇති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධය පිළිබිඹු කරන ලදී. කෞතුක වටිනාකම මුල්‍යමය වටිනාකම හා පූජනීයත්වය සළකා මෙම ඉපැරණි චූඩා  මාණික්‍යය සෑ මළුවෙහි දකුණු දිශාවේ පිහිටි සුගන්ධ මන්දිරයෙහි තැන්පත් කීරීමට අටමස්ථානාධිපති ස්වාමින්වහන්සේගේත්, ස්වාර්ණමාලිරාමාධිකාරී ස්වාමින්වහන්සේගේත්  අදහස විය.

ඉතා විචිත්‍රවත් සියුම් කැටයමින් බිත්ති අලංකාර කොට තිබූ මෙම මන්දිරයේ ඇතුලත කුටියේ  බිත්ති රන් ආලේපිත අලංකාර කැටයම් සහිත නෙලුම් මල් දෙසීයකින්ද, ඒවා වටා රන් ආලේපිත ලියවැල් වලින්ද අලංකාර කොට ඇතුල්වන දොරටුද රන් ආලේපිත කර නව විදුළි බුබුළු පද්ධතියක ආධාරයෙන් එම කුටිය ඒකාලෝකමත් කොට  විශ්ව පාරමී පදනම මගින්  ප්‍රතිසංස්කරණය කළේ මෙම පුණ්‍ය භුමියේ විශේෂ කුටියක් ලෙසය.   

මේ මහා පිංකමට මූලාරම්භය දෙමින්  ජූනි මස 17 වෙනි දින සවස  තුන්වරු පිරිත් සජ්ජායනාව ආරම්භය කළේය. 18 වැනිදා උදෑසන පේසා වළලු රන් පැහැති කංචුක වලින් සැරසීමත්, මහා සෑ පුණ්‍ය භූමියම ඉතාම අලංකාර සුවඳවත් මලින් වර්ණවත් කර දසත සුවඳ විහිදුවා ලමින් මානෙල් මලින් සැරසු මැටි කල 200 සහ විචිත්‍ර මල් කළඹවල් 100 මහා සෑයේ පේසා වළල්ල මත තැන් පත් කලේ චෛත්‍යයේ අලංකාරය වැඩිකරමින්ය. ඊට අමතරව LED විදුලි ආලෝක බුබුළු දස දහස් ගණනක්  සෑ මළුවට ඇතුල්වන මාර්ගයේ සිට චෛත්‍යයේ පේසා වළලු 3 වටා ආලෝකමත් කලෝය. 

ඉන් අනතුරුව දස දහසක් සුර නර දෙවු බඹුන්ගේ වන්දනාවට පාත්‍ර වූ ඉපැරණි චූඩා  මාණික්‍යය රත්නය වඩා හිඳ වූ මලින් සැරසූ රන්සිවි ගෙයින් මහා විහාරයේ සිට රුවන්වැලි සෑ පෙත්මඟ දක්වාද, එතැන් සිට සුදු පාවඩ මතින් හේවිසි හඬ සමඟින්  බෞද්ධ කොඩි පෙරටු කරගත් මහා සංඝරත්නය සමඟ රුවන්වැලි මහා සෑ සලපතල මළුවේ සුගන්ධ මන්දිරය වෙත වැඩම කළේය.

සුභ මොහොත එළැඹෙන තෙක් රන්වැලි සෑ සමිඳුන් අභියස තැන්පත් කළ චූඩා  මාණික්‍යය අභියසදී මහා සඟරුවනේ ආශීර්වාදයෙන් පසුව එළැඹි සුභ මොහොතින් හේවිසි කරුවන් සිය දෙනෙකුගේ ශබ්ධ පූජා මධ්‍යයේ රතු පලස මතින් සුගන්ධ මන්දිරයේ රන් කුටිය තුළ අති මහත් ශ්‍රද්ධාවෙන් තැන්පත් කළේය.

අනතුරුව රන් ආලේපිත බඳුන් වල පිළියෙළ කළ අෂ්ඨපාන ගිලන්පසින් සහ සුවඳවත් මලින් පුදා මහා සංඝරත්නයේ මග පෙන්වීමෙන් පැමිණ සිටි සියල්ලන්ම පංචසීලයේ  පිහිටුවන ලදී. මේ සියළුම පූජාවන් අප මහා භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව සැමට සෙත් පතා  පිරිත් සජ්ඣායනා කොට තුන්වරු පිරිත නිමා කරන ලදී.

වැඩමවා වදාල අති පූජනීය අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාසි නාහිමියන්, ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන් සහ කඳුබොඩ ප්‍රේමසිරි හාමුදුරුවන් ප්‍රමුඛ මහා  සඟරුවනට පිරිකර පූජා කිරීමෙන් අනතුරුව අපමන  ශ්‍රද්ධාවෙන් රුවන්වැලි මහා සෑ සමිඳුන් අභියස කළ පිංකම මෙසේ නිමා කරන්නට විය. මෙතැන් පටන් ඉපැරණි චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනය සඳහා විවර වූයෙන් එදින සහභාගී වූ සියළුම බැතිමතුන්හට එය අසලටම ගොස් වන්දනා කිරීමේ භාග්‍යය ද උදා විය.

සැදැහැසිත් පෙරටු කර ගනිමින් සිදු කළ මේ සියළුම පූජාවන් අප මහා තථාගතයන් වහන්සේට පූජා වේවා! පූජා වේවා!! පූජාම වේවා!!! මෙත් සිත් පෙරදැරිව, පින් සිත් වඩන්නට විශ්ව පාරමී අප දරන්නා වූ වෑයම ඔබගේ දෙනෙතින් දැක බලා සාදු සිතින් අනුමෝදන් වීමට ඔබ සෑම දෙනාටම හැකි වේවා..!

වියළි ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය

භයානක කොරෝනා වසංගතය සමයේ ආගමික ස්ථාන සදහා වියළි ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය

පැතිරී යන අති භයානක කොරෝනා වසංගතය මැඩපැවැත්වීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ඇඳිරිනීති තත්ත්වය  හමුවේ අසරණ වූ පිරිස් බොහෝමයි. අනපේක්ෂිතව සිදු වූ මේ මහා ව්‍යසනය හමුවේ මුළු මහත් ලෝකයම එකිනෙකාගෙන් වෙන්ව හුදෙකලාව තම පණනල රැක ගන්නට වෙර දරණ මේ මොහොතේ පවා උදව් අවශ්‍ය  ආගමික ස්ථාන සොයා යන්නට කැපවුණු නොනවතින විශ්ව පාරමී පිං පෙළහරේ තවත් පිටුවක් මෙසේ සටහන් කොට තබමු.

හම්බන්තොට

දායක දායිකාවන්ට දානය රැගෙන යෑමට  නොහැකි වාතාවරණයක, එවැනි දාන මාන  නොලැබෙන දුෂ්කර පළාත්වල භික්ෂූන් වහන්සේලා සහ දසසිල් මෑණිවරු  වැඩ වාසය කරන ආරණ්‍ය සේනාසන, පන්සල්, පිරිවෙන්, දස සිල් ආරාම මෙන්ම පල්ලි සඳහා වියළි ආහාර බෙදා දීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට විශ්ව පාරමී  මූලිකත්වය ගත්තේය.

මඩකලපුව

දිවයින පුරා ආරණ්‍ය සේනාසන, පන්සල්, කතෝලික පල්ලි සහ මුස්මෙලිම්න්ම පල්ලි වෙනුවෙන් වියළි ආහාර ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර, මාතර, හම්බන්තොට, මොනරාගල සහ  අම්පාර යන දිස්ත්‍රික්කත් තුලත් සාර්ථකව අවසන් විය. ඊට ශ්‍රම දායකත්වය එම පළාත්වල ස්වේච්ඡා මිතුරන්ගෙන් නොවඩුව ලැබූ බවද හදපිරි ප්‍රණාමයෙන් යුතුව සටහන් කරන්නෙමු. 

පොලොන්නරුව

ආගම්, ජාති බේදයකින් තොරව ක්‍රියා කරන විශ්ව පාරමී කණ්ඩායම එහි දෙවන අදියර ලෙස මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ වවුනියාව දිස්ත්‍රික්කද සාර්ථකව පසුගිය සති අන්තයේ  නිම කරේ ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකායේ ද සහය ඇතිවය. 

ත්‍රිකුණාමලය​
මොණරාගල

ඔබත් මෙම පිංකම් දකින්න, විදින්න අනුමෝදනා කරගැනීමට දක්ෂ වන්න.

මේ උතුම් පිංකම් වල සත්‍යානුබල මහිමයෙන් රට පුරා පැතිර යන දරුණු කොරෝනා වසංගතය ඉතා ඉක්මනින් දුරු වී ලක් මවටත් ලක්වැසි ජනයාටත් සකල ලෝ වැසියන්ටත් නිදහසින් සතුටින් ජීවත් වන්නට අවැසි පරිසරයක් උදා වේවා ! !

ස්වර්ණ පූජා බුද්ධගයාව

සියලු දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ අප ගෞතම සම්මා සම්බුදුරජාණන්
වහන්සේ දස බිම්බරක් මාර සේනා පරදවමින් උතුම් සම්බෝධියට පත්වූ බුද්ධ ගයා
ශුද්ධ භුමියේ රන් ආලේප කිරීම, රණින් නිමවන ලද පුජා භාණ්ඩ හා රන් පියුම්
වළින් පුදකිරිම සිදු කිරීමට අප භාග්‍යවන්ත වූවෙමු.

බුද්ධගයා පරිශ්‍රය සියලු පිරිසිදුකිරීම් සිදුකරණු ලබන්නේ විශ්ව පාරමී පදනමයි.

බැතිමතුන් හට භාවනා වේදිකාවක් තනවා පූජා කිරීම

පිවිතුරු පැන්

මධ්‍යහනයේ හිරු ගිනිගෙන දැවෙයි. අවට පරිසරයද ගිනිගෙන දැවෙනවායි සිතෙන්නේ එහි ඇති රස්නය නිසාමය. තිබහ ඇතත් තිබහට වතුර නැත. වියළුණු පොලව මත ගව් ගානක් පයින් ඇවිද ගොස් වතුර කලයක් සොයා ගත්තද එය බීමට සුදුසු නැත. හේතුව එහි ඇති කිවුල් වතුරේ ඝන ලෝහ මෙන්ම වස විස මුසුවී ඇති බැවිනි. මෙය ඔවුන් අද ඊයේ මුහුණ දුන් ගැටළුවක් නොව පරම්පරා ගණනාවක් නොකඩවා මුහුණදෙන ගැටලුවකි. මේ දුක කාට කියන්නද? කිව්වත් මේ වන තෙක් කවුරුවත් ඊට ඇහුන්කම් නොදුන්නේය.

මහමේව්නා අසපුව මඟින් ක්‍රියත්මක කොට ඇති වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවදානෙන් පෙලෙන අපේම ජනතාව උදෙසා පිරිසිදු පානීය ජලය ලබාදීමේ සත්කාරයක් වන පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතීයේ විශ්ව පාරමී පූර්ණ දායකත්වයෙන් පුජාකළ තුන්වන ජල පිරිපහදුව මන්නාරමේ සිට කිලෝමීටර් 31 දකුණට වන්නට පිහිටි සිලාවතුර නගරයට නුඳුරින් පිහිටි ගම්මානයක පසුගිය 11 වැනිදා සවස ජනතා පරිහරණයට බාරදෙන ලදී. මෙම වැඩසටහන මහමේව්නා අසපුව සමඟ එක්ව කරන වැඩසටහනකී.

මෙම ජල පිරිපහදුව පිහිටා ඇති කොන්දච්චිය, සිහල විජේගම අවට බහුතරයක් මුස්ලිම්වරුන් ජිවත්වන ප්‍රදේශයක් වන අතර එය ඉදිකිරීමට භුමිය පරිත්‍යාග කිරීම සුනිල් දයානන්ද මහතා විසින් වීම විශේෂයි. ආගම් භේදයකින් ජාති භේදයකින් තොරව විශ්ව පාරමී පුර්ණ දායකත්වයෙන් මෙම පානීය ජල පිරිපහදු ව්‍යාපෘතීය ජනයා අතට පත්කළ අතර මෙම ව්‍යාපෘතීය සාර්ථක කරගැනීමට අප සමඟ එකට වැඩකළ මහාමෙව්නා අසපුව, ශ්‍රද්ධා මාධ්‍ය ජලය මෙන්ම එම ජල කුළුණ ඉදිකිරීමට ශ්‍රම දායකත්වය මෙන්ම පවත්වාගෙන යෑමට සහය ලබාදෙන ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බලකායද මෙත් සිතින් සිහිකරමු.

එමෙන්ම 2014 පෙබරවාරි මස පදවි ශ්‍රීපුර සීවලීපුරත් ගම්මානයේත් සහ 2016 පදවි ශ්‍රීපුර, මොණරවැව ගම්මානයේත් මෙවැනිම ව්‍යාපෘතින් දෙකක් සාර්ථකව නිම කල බව සටහන් කරමු.

මෙය දැක සතුටුවූ සියළු දෙනා මෙන්ම, සියළු දෙවියෝද සාධු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා! සාදු! සාදු! සාදු!

අති උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්

සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ – සමධිට්ඨිත දක්ඛිණ ශාකභවං
සුභ මේඝ වනම්භර මේඝ නිභං – ජය බෝධි මහං පන මාමි වරං

මේ සක්වළ මුළුල්ලෙහි වැඩ වෙසෙන අනන්ත වූ දෙව් බඹුන්ගේත්, සකල ලෝක වාසී බෞද්ධ සැදැහැවතුන්ගේත් වන්දනාවට පාත්‍ර වූ අති උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව පිහිටි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වටා ඇති ආරක්‍ෂිත රන් වැට සහ ආධාරක කණු දඹ රනින් ආලේප කිරීමත්, බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස ඉදි කොට තිබූ බෝධි ප්‍රාකාරය මුලුමනින්ම ප්‍රතිසංස්කරණය කොට අඩි 3 ක් උස් කොට ශෛලමය ප්‍රාකාරයක් ලෙස  බුදු සසුන වෙත පූජා කිරීමේ අති දුර්ලභ පිංකම සිදු කරන්නට තරම් 2019 මැයි මස 11 වැනිදා විශ්ව පාරමී සාමාජික අප සියළුම දෙනා භාග්‍යවන්තයන් වූ වගයි.

එදා රජ දවස වන සතුන්ගෙන්, සතුරු උවදුරු වලින් බෝ සමිඳුන් රකින්නට රෑ දවල් නොතකමින් දිවි පරදුවට තබා කටයුතු කළ අතරම, බෝධීන් වහන්සේ වටා පළමු රන් වැට සහ දෙවන රන් වැට ඉදි කරන්නට පාලනාධිකාරිය විසින් පියවර ගනු ලැබූ අතරම, වසර 58 කට පසු රන් වැට සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත විශ්ව පාරමී අප විසින් සිදු කළ ආකාරයයි මේ. 

වැඩමවා වදාල අතිපූජනීය මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරෝද්ව්‍යාධිපති තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රියන් වහන්සේ සහ  සියම් නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක අටමස්ථානාධිපති ආචාර්ය සද්ධර්ම ජෝතික ධජ අති පූජනීය පල්ලේගම සිරි සුමන ධම්ම රක්ඛිත සිරි නිවාස නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්,  අතිපූජනීය ගම්පහ ප්‍රේමසිරි ස්වාමින් වහන්ස, අනුරාධපුර ප්‍රදේශ වාසි නායක ස්වාමීන් වහන්සේලාද, දඹදිව බුද්ධගයා විහාර කළමණාකාර  කමිටුව නියෝජනය කරමින් අපගේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට වැඩමවා වදාල අතිපූජනීය ධර්මේන්ද්‍ර කුමාර් භික්‍ෂූන් වහන්සේගෙන්ද, එම කමිටුවේ ලේඛකාධිකාරී නැන්ග්සේ ඩොර්ජී මහතා ඇතුළු එම මහත්මියද  ප්‍රමුඛ කොට ගත් ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 2019 මැයි මස 11 වන දිනට යෙදුණු සුභ මොහොතින් බෝධීන් වහන්සේ වටා ඇති පළමු රන්වැට සහ දෙවන රන්වැට ද බෝධීන් වහන්සේ දරා සිටින ආධාරක කණුද, බෝධීන් වහන්සේට බුද්ධ පූජාව, ගිලන් පස පූජා කිරීම සඳහා රන් ආලේපිත පාත්‍ර, රන් ආලේපිත තැටි, මල් බඳුන්, පැන් කෙන්ඩි ඇතුළු අංග සම්පුර්ණ පූජා භාණ්ඩ කට්ටලයන්  පූජා කිරීමද සිදු වූයේ මේ ආකාරයටයි. 

බෝධීන් වහන්සේ වටා ඉදිකොට තිබුණු බෝධි ප්‍රාකාරය තවත් අඩි තුනක් උස් කොට ශෛලමය ඇත් පවුරක් සහිතව අලුතින්ම  ශෛලමය බෝධි ප්‍රාකාරයක් ප්‍රතිනිර්මාණය කිරීම නිසාත්, ශෛලමය පිය ගැට පෙළත් බෝධීන් වහන්සේගේ ආරක්ෂාවත්, අලංකාරයත් විදහා පාන ආකාරයයි මේ.

මේ අති උතුම් පින්කමට සමගාමීව ගෞරවනීය මහා සංඝරත්නය 33 පැයක් පුරාවටම මැයි මස 10 වැනිදා රාත්‍රියේ සිට පිරිත් සජ්ජායනය කිරීමද, අවසානයේ බෝධීන් වහන්සේ උදෙසා 12 වැනිදා හිමිදිරියේ කිරි පිඬු පූජා කිරීමද, ඉන් අනතුරුව ගෞරවනීය මහා සංඝ රත්නයේ 37 නමක් උදෙසා උදෑසන හීල් දානයද අට පිරිකර සහිතව සෙසු පිරිකරද පූජා කරමින් දින තුනක් තිස්සේ පැවිති මේ මහා පින් පෙරහැර නිමාවිය.

තුන් තිස් පැය පිරිත් සජ්ජායනය

උදෑසන හීල් දානය

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ශ්‍රී මහා බෝධි වහන්සේගේ සංරක්ෂණය හා ආරක්ෂාව මුල් කොට ගනිමින් විශ්ව පාරමී දායකත්වයෙන් කළ මේ  මහා ඓතිහාසික මෙන්ම අති දුර්ලභ පිංකම ඇරඹූදා පටන් සාර්ථකව නිම කොට පූජා කරන තෙක්ම මේ සඳහා දිව්‍ය නෙත් යොමාගෙන ශක්තිය, ධෛර්යය ලබා දෙමින් ආරක්ෂා කළා වූ මිහිතලයේ සිට බඹතලය දක්වා අනන්ත වූ දෙව් බඹුන්ටත්, මේ සඳහා මඟ පෙන්වමින් අපට ආශීර්වාද කළා වූ ගෞරවනීය මහා සඟරුවනටත්, දිවා රෑ නොබලා ඉදිකිරීම් කටයුතු වලට ශ්‍රම දායකත්වය දැක්වූ කාර්මික ශිල්පීන් සහ සහකයන් ඇතුළු  විශ්ව පාරමී ඔබ අප සියළුම දෙනාටමත් උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට ආනුභාව බලයෙන් මේ ආත්ම භාවයේදීම නිවන් මඟට පිවිස සසර නමැති සැඩ පහර නිමා කොට උතුම් වූ නිවනින්ම නිවී සැනසීමට මේ උතුම් කුසලය හේතු වාසනා වේවා !

                                                   සාදු ! සාදු ! සාදු !!!

ස්වර්ණමාලී මහා සෑ රදුන්

රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ස්වර්ණමාලී මහා සෑ රදුන් මත තැන්පත් කිරීම සහ රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කොට සම්බුද්ධ ශාසනය වෙත පූජා කිරීමේ මහෝත්සවය මෙසේ සිදු වූ වගයි…

අප මහා අමාමෑණි බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්බුද්ධ රාජ්‍යයට සම්ප්‍රාප්ත වූ දඹදිව බුද්ධ ගයාවෙහි වැඩ සිටින විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ, වජ්‍රාසනය මූලික රන් වැට ඇතුළු ශුද්ධ වූ බෝධි පරිශ්‍රය ශ්‍රී ලංකාවේ විශ්ව පාරමී පදනම විසින් රන් ආලේප කිරීමෙන් අනතුරුව, 2018 ජුනි මස 30 වන දින බුදු සසුන වෙත පූජා කිරීමේ මහා පිංකම, අති පූජනීය සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය සද්ධර්ම ජෝතික ධජ අතිපූජනීය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්ථවිරයන් වහන්සේ විසින් සියැසින් දැක වැඳ පුදා ගත් සේක.

පසුව උන්වහන්සේ විසින් විශ්ව පාරමී පදනමේ පූර්ණ දායකත්වයෙන් සහ මෙහෙයවීමෙන් ඉතා අංගසම්පුර්ණ ලෙස සිදු කළ ඒ මහා පිංකම පිළිබඳව පැහැදී මතු වූ විශ්වාසය සහ ජනිත වුණා වූ බුද්ධාලම්භන ප්‍රීතිය හේතුවෙන්, පූජනීය සංඝමිත්තා රහත් භික්ෂුණීන් වහන්සේ විසින් වඩම්මන ලද සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුර පුණ්‍යමය නගරයෙහි මනරම් මහමෙව්නා උයනේ තේජාන්විතව සහ ගරු ගාම්භීර ලෙස වැඩ සිටින්නා වූ ඒ අති උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව මූලික කොට ගනිමින් පිහිටුවා ඇති බෝධි ප්‍රාකාරය අඩි තුනකින් ඔසවා ශෛලමය ප්‍රාකාරයක් ලෙස ඉදි කිරීමේ සහ පැවති රන්වැටවල් දෙක සහ සෙසු ආධාරක කණු අවපැහැ ගැන්වී දුර්වර්ණව පැවතීම හේතුවෙන් යළි එකී පූජනීය වස්තූන් රන් ආලේප කිරීමේ මහා භාරධූර කාර්යය විශ්ව පාරමී පදනම වෙතම පවරන ලදී.

ඒ මහා පිංකම අතිවිශිෂ්ඨ ලෙස සහ වගකීම් සහිත ලෙස සිදුකොට බුදු සසුන වෙත 2019 මැයි මස 11 වන දින පූජා කළ ආකාරය පිළිබඳව පැහැදී සිටින අවස්ථාවේදී, ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු රජතුමා විසින් නිධන් කරන ලද බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින මෙම අසිරිමත්, අසදෘශ ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන්ගේ පළුදුව තිබූ චුඩා මාණික්‍යය ඇතුළු පාදම වෙනුවට නව ඉතා වටිනා චුඩා මාණික්‍යක් ඇතුළු රත්තරන් පාදමක් සවි කිරීම සඳහාත් දුර්වර්ණව සහ දුබලව තිබූ කොත් වහන්සේ යළි පිරිසිදු රනින් ඔපවත් කිරීම සඳහාත්, විශ්ව පාරමී පදනම විසින් අති පූජනීය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක අටමස්ථානාධිපති ආචාර්ය සද්ධර්ම ජෝතික ධජ අති පූජනීය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්ථවිරයන් වහන්සේගෙන් කළ ඉල්ලීමකට අනුව, ඒ සඳහා ගෞරවනීය උන් වහන්සේ විසින් විශ්ව පාරමී පදනම වෙත අනුමැතිය ලබා දෙන ලදී.

ඉනික්බිති අතිපූජනීය අටමස්ථානාධිපති ස්ථවිරයන් වහන්සේගේ සහ නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක  ස්වර්ණමාලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ පූර්ණ මෙහෙයවීම අධීක්ෂණය සහ ආශීර්වාදය මධ්‍යයේ, විශ්ව පාරමී පදනම විසින් ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් මත නව චූඩා මාණික්‍යයක් ඇතුළු රත්‍රන් පාදමක් සවි කිරීමත්, කොත් වහන්සේ පිරිසිදු රනින් ඔපවත් කිරීමත් ඉතා සුවිශේෂී ලෙස සර්ව සම්පූර්ණ ලෙස සහ අග්‍රගන්‍ය ලෙස සිදුකොට, ශ්‍රී බුද්ධ වර්ෂ 2563 වැන්නට පැමිණි ඉල් මස අවථිතියලත් 25 වන සඳු දින සහ, ඉල් මස අවථිතියලත් 26 වන කුජ දින, එනම්,ව්‍යවහාර වර්ෂයෙන් 2019 නොවැම්බර් මස 25 සහ 26 දෙදින තුළදී ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාදුකාර මධ්‍යයේ සම්බුද්ධ රාජ්‍ය වෙත පූජා කළ බව මෙසේ සටහන් තබනු ලැබේ.

මීට අමතරව, උතුම් ආර්ය මහා සඟ රුවනේ 1500 නමක් වෙනුවෙන් අෂ්ට පරිෂ්කාර සහිතව සර්ව සම්පූර්ණ මහා දානමය පිංකම අවසන, දින ගණනාවක් පුරා සිදු කළ මේ මහා පිංකම නිමා කළ වගයි. 

සම්පූර්ණ වැඩසටහන වීඩියෝ

තේමා ගීතය

අප විසින් අනුරාධපුර අසිරිමත් ස්වර්ණමාලී චෛත්‍ය  රාජයාණන් වහන්සේගේ ආරක්ෂාව සහ ශ්‍රී විභූතිය මූලික කොට ගනිමින් සිදු කරනු ලැබුවා වූ මේ මහා පුජෝපහාරයෙන් ජනිත වූවා වූ මහා පුණ්‍ය සම්භාරය සදේවක ලෝකයාම ප්‍රීතියෙන් අනුමෝදන් වෙත්වා!!!

සාදු!!! සාදු !!! සාදු !!!

විශේෂ ආලෝක පූජාව

අප මහා බෝසතාණන් සියළු කෙළෙසුන්  නසා  ලොව්තුරා බුද්ධත්වයට පත්වූදා සෙවන දුන්  උතුම් වූ බුද්ධ ශරීරයේ ස්පර්ශය ලද, එමෙන්ම සතියක් පුරාවට අනිමිස ලෝචන පුජාවෙන් පිදුම් ලැබූ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් අපගේ පුද පූජාවන් පිණිස මේ ලක්දෙරණේ රෝපණය කරන්නට  දෙවන පෑ තිස් රජ සමයේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් මෙරටට වැඩම කරවන ලදී.

එතැන් පටන් බොහෝ බෞද්ධ සැදැහැවතුන් රැයක් දවාලක් නොතකා මහ බෝ අනුහසින් නිවී, සැනසීම පතා උන්වහන්සේට පුද පූජා පවත්වති.  එවන් අසිරිමත් වූ පුජනීය වන්දනීය වූ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වටා විදුලි පහන් දල්වා ආලෝකමත් කොට, ජීවමාන බුදුන් වහන්සේට  කළා  හා සමාන ආලෝක පූජාවකින් බුදුන් පුදන්නට විශ්ව පාරමීයේ අප  සැම භාග්‍යවත්වූ බව මෙසේ සනිටුහන් කරමු.   

තවද,  රාත්‍රී කාලයේ බොහෝ සැදැහැවතුන් සඳහා පිරිත් සජ්ජායනයට, බෝධි වන්දනාවට සහ බුද්ධ වන්දනාවට අවශ්‍ය පිරුවානා පොත් වහන්සේ මෙන්ම බෝධි වන්දනා ගාථා පොත් පත් පරිශීලනයට විශ්ව පාරමීයේ ආලෝක පුජාව දහවල් කාලයේ තරම්ම  ආලෝකය සපයන බැවින් දැන් පහසුවෙන් පරිහරණය  කල හැකි බව, මෙම රූප රාමු දකින ඔබටද වැටහෙනු නොඅනුමානය.

තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් ආලෝක පූජාවෙන්  පුදන්නටත්, උන්  වහන්සේගේ මග යමින්  දහම් පොත් පත් පරිශීලනය කරන බැතිමතුන් උදෙසා ආලෝකය සපයන්නටත් දායක වූ විශ්ව පාරමී ඔබ සැමටද මෝහන්ධකාරයෙන් මිදී උතුම් නිවන් ආලෝකයෙන් සැනසීමට ඔබ සැමගේ ජීවිතද මේ උතුම් පිනෙන් ආලෝකමත් වේවා !


Latest Posts

භාෂාව තෝරන්න