අම්මාවරුනේ

  1,319 views

විඳි දුක් කියන්නට සමනල කන්ද   මදි – කඳුළට දහඩියට මහා සාගර ජලය  මදි
තිළිනෙට පුදන්නට මුළු ලෝකයම මදි – අම්මා බුදු වුණත් මගෙනම් හිතට    මදි
දිළිඳු කමේ පතුලේම සිටියත් උතුම් වූ මවු සෙනෙහසෙහි අඩුවක් නොවූ ඒ උතුම් අම්මාවරුන් මහත් හරසරින් පුදන්නට විශ්ව පාරමී අප කරන්නා වූ මහා සත්කාර්ය අම්මාවරුනේ ලෙස හැඳින්වේ.

මේ යටතේ, අති දුෂ්කර ප්‍රදේශයන්හි දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මවුවරුන් 15 දෙනෙකුටත් අලුතින් උපදින කිරිකැටි බිළිඳුන් 15 දෙනෙකුටත් අවැසි ඇඳුම් පැළඳුම් ඇතුළු දරු ප්‍රසූතියේදී අත්‍යවශ්‍ය වන සෑම අවශ්‍යතාවයක්ම ලබා දෙන්නට සෑම මසකම අප කටයුතු කරන්නෙමු.

හරි හැටි ප්‍රවාහන පහසුකම් නොමැති මේ දුෂ්කර ගම්මාන වල මවුවරුන් තම දෙපයින්ම ඇවිද එන නිසා ඔවුන්ගේ ගමන් විඩාව මදකට හෝ දුරු කිරීමේ අදහසින් වැඩසටහන අතරතුර තේ පැන් සංග්‍රහය මෙන්ම, ඔවුන්ගේ දිවා ආහාරයද පෝෂ්‍යදායී ආකාරයට සකසා සංග්‍රහ කිරීමත් වැඩසටහනේ අනිවාර්ය අංගයක් වේ.

මේ වන විට පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි අම්මාවරුනේ වැඩසටහන සාර්ථකව පවත්වන්නට අපට හැකියාව ලැබුණු අතරම, මේ  මාසයේ සිට ගාල්ල දිස්ත්‍රික්කය තුළ ද අම්මාවරුනේ වැඩසටහන යටතේ, කටුක ලොවේ මිහිරිතම අත්දැකීම විඳින්නට සැරසෙන  තවත් අම්මාවරුන් සිය දහසකට ශක්තියක් වීම අප සැමගේ ඒකායන අරමුණ වන්නේය.

අම්මාවරුනේ මාසික වැඩසටහන්

1 Comment

Comments are closed.


Latest Posts

භාෂාව තෝරන්න