ස්වර්ණමාලී මහා සෑ රදුන්

  2,616 views
රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ස්වර්ණමාලී මහා සෑ රදුන් මත තැන්පත් කිරීම සහ රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කොට සම්බුද්ධ ශාසනය වෙත පූජා කිරීමේ මහෝත්සවය මෙසේ සිදු වූ වගයි…

අප මහා අමාමෑණි බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්බුද්ධ රාජ්‍යයට සම්ප්‍රාප්ත වූ දඹදිව බුද්ධ ගයාවෙහි වැඩ සිටින විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ, වජ්‍රාසනය මූලික රන් වැට ඇතුළු ශුද්ධ වූ බෝධි පරිශ්‍රය ශ්‍රී ලංකාවේ විශ්ව පාරමී පදනම විසින් රන් ආලේප කිරීමෙන් අනතුරුව, 2018 ජුනි මස 30 වන දින බුදු සසුන වෙත පූජා කිරීමේ මහා පිංකම, අති පූජනීය සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය සද්ධර්ම ජෝතික ධජ අතිපූජනීය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්ථවිරයන් වහන්සේ විසින් සියැසින් දැක වැඳ පුදා ගත් සේක.

පසුව උන්වහන්සේ විසින් විශ්ව පාරමී පදනමේ පූර්ණ දායකත්වයෙන් සහ මෙහෙයවීමෙන් ඉතා අංගසම්පුර්ණ ලෙස සිදු කළ ඒ මහා පිංකම පිළිබඳව පැහැදී මතු වූ විශ්වාසය සහ ජනිත වුණා වූ බුද්ධාලම්භන ප්‍රීතිය හේතුවෙන්, පූජනීය සංඝමිත්තා රහත් භික්ෂුණීන් වහන්සේ විසින් වඩම්මන ලද සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුර පුණ්‍යමය නගරයෙහි මනරම් මහමෙව්නා උයනේ තේජාන්විතව සහ ගරු ගාම්භීර ලෙස වැඩ සිටින්නා වූ ඒ අති උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව මූලික කොට ගනිමින් පිහිටුවා ඇති බෝධි ප්‍රාකාරය අඩි තුනකින් ඔසවා ශෛලමය ප්‍රාකාරයක් ලෙස ඉදි කිරීමේ සහ පැවති රන්වැටවල් දෙක සහ සෙසු ආධාරක කණු අවපැහැ ගැන්වී දුර්වර්ණව පැවතීම හේතුවෙන් යළි එකී පූජනීය වස්තූන් රන් ආලේප කිරීමේ මහා භාරධූර කාර්යය විශ්ව පාරමී පදනම වෙතම පවරන ලදී.

ඒ මහා පිංකම අතිවිශිෂ්ඨ ලෙස සහ වගකීම් සහිත ලෙස සිදුකොට බුදු සසුන වෙත 2019 මැයි මස 11 වන දින පූජා කළ ආකාරය පිළිබඳව පැහැදී සිටින අවස්ථාවේදී, ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු රජතුමා විසින් නිධන් කරන ලද බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින මෙම අසිරිමත්, අසදෘශ ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන්ගේ පළුදුව තිබූ චුඩා මාණික්‍යය ඇතුළු පාදම වෙනුවට නව ඉතා වටිනා චුඩා මාණික්‍යක් ඇතුළු රත්තරන් පාදමක් සවි කිරීම සඳහාත් දුර්වර්ණව සහ දුබලව තිබූ කොත් වහන්සේ යළි පිරිසිදු රනින් ඔපවත් කිරීම සඳහාත්, විශ්ව පාරමී පදනම විසින් අති පූජනීය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක අටමස්ථානාධිපති ආචාර්ය සද්ධර්ම ජෝතික ධජ අති පූජනීය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්ථවිරයන් වහන්සේගෙන් කළ ඉල්ලීමකට අනුව, ඒ සඳහා ගෞරවනීය උන් වහන්සේ විසින් විශ්ව පාරමී පදනම වෙත අනුමැතිය ලබා දෙන ලදී.

ඉනික්බිති අතිපූජනීය අටමස්ථානාධිපති ස්ථවිරයන් වහන්සේගේ සහ නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක  ස්වර්ණමාලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ පූර්ණ මෙහෙයවීම අධීක්ෂණය සහ ආශීර්වාදය මධ්‍යයේ, විශ්ව පාරමී පදනම විසින් ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් මත නව චූඩා මාණික්‍යයක් ඇතුළු රත්‍රන් පාදමක් සවි කිරීමත්, කොත් වහන්සේ පිරිසිදු රනින් ඔපවත් කිරීමත් ඉතා සුවිශේෂී ලෙස සර්ව සම්පූර්ණ ලෙස සහ අග්‍රගන්‍ය ලෙස සිදුකොට, ශ්‍රී බුද්ධ වර්ෂ 2563 වැන්නට පැමිණි ඉල් මස අවථිතියලත් 25 වන සඳු දින සහ, ඉල් මස අවථිතියලත් 26 වන කුජ දින, එනම්,ව්‍යවහාර වර්ෂයෙන් 2019 නොවැම්බර් මස 25 සහ 26 දෙදින තුළදී ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාදුකාර මධ්‍යයේ සම්බුද්ධ රාජ්‍ය වෙත පූජා කළ බව මෙසේ සටහන් තබනු ලැබේ.

මීට අමතරව, උතුම් ආර්ය මහා සඟ රුවනේ 1500 නමක් වෙනුවෙන් අෂ්ට පරිෂ්කාර සහිතව සර්ව සම්පූර්ණ මහා දානමය පිංකම අවසන, දින ගණනාවක් පුරා සිදු කළ මේ මහා පිංකම නිමා කළ වගයි. 

සම්පූර්ණ වැඩසටහන වීඩියෝ

තේමා ගීතය

අප විසින් අනුරාධපුර අසිරිමත් ස්වර්ණමාලී චෛත්‍ය  රාජයාණන් වහන්සේගේ ආරක්ෂාව සහ ශ්‍රී විභූතිය මූලික කොට ගනිමින් සිදු කරනු ලැබුවා වූ මේ මහා පුජෝපහාරයෙන් ජනිත වූවා වූ මහා පුණ්‍ය සම්භාරය සදේවක ලෝකයාම ප්‍රීතියෙන් අනුමෝදන් වෙත්වා!!!

සාදු!!! සාදු !!! සාදු !!!


Latest Posts

භාෂාව තෝරන්න