කොවිඩ් – 19 එරෙහිව වෛද්‍ය සත්කාර

  2,425 views

කෘතිම ශ්වසන යන්ත්‍ර සඳහා දායකත්වය

ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නට නොහැකි වූ දහසකුත් දෙනෙක් දරුණු කොරෝනා වෛරසයට තම ජිවිතයෙන් වන්දි ගෙවා මේ වන විටත් අවසන් ගමන් ගොසිනි.

එමෙන්ම, මේ මොහොතේ දැඩිසත්කාර ඒකක වල ජීවිතයත් මරණයත් අතර තියුණු සටනක යෙදෙන රෝගීන්ට එකම පිළිසරණ කෘතිම ශ්වසන ආධාරකයයි. දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය කෘතිම ශ්වසන යන්ත්‍ර ඉතාමත් ඉක්මනින් සපයා දීමේ අරමුණින් අප රට තුළ මෙම කෘතිම ශ්වසන යන්ත්‍ර (ventilator machine) නිෂ්පාදනය අරඹන්නට කටයුතු කළ අතර එම උපකරණ මිලදී ගැනීමට IDH මූලික රෝහල සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සඳහා දායකත්වයක් ලබා දෙන්නට විශ්ව පාරමී පදනම කටයුතු කලේ වටිනා ජිවිත රැසක් බේරා ගැනීමේ සහ දේශීය නිෂ්පාදනය අගය කරමින් ඔවුන්ට ශක්තියක් වීමේ උතුම් චේතනාවත් පෙරදැරිවයි.

විශේෂිත ආරක්‍ෂිත ඇඳුම් කට්ටල

අති භයානක කොරෝනා රෝගය ආසාදිත වූ රෝගීන් සමඟ ඍජුවම සම්බන්ධ වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අත්‍යවශ්‍ය වන විශේෂිත ආරක්‍ෂිත ඇඳුම් කට්ටල (PPE Kit) අවශ්‍ය බව දන්වා රෝහල් රැසකින් ඉල්ලීම් විශ්ව පාරමී වෙත  එන්නට වූයේ විශ්ව පාරමී පදනම යනු ජාති ආගම් කුලමල දේශපාලන බේදයකින් තොරව රට පත්වන සෑම ව්‍යසනයකදීම සම සිතින්,වගකීමකින් සැමටම පිහිටවන බව පසක් කරගත් විශ්වාසයෙන් බව ඔබට පවසන්නේ මෙත් සිතිනි.

එම විශ්වාසය අරුත් ගන්වමින් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල, වැලිසර ළය රෝහල, රාගම ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල සහ ගම්පහ මහ රෝහල වෙත එම ඇඳුම් කට්ටල ලබා දෙන්නට කටයුතු කළ ආකාරයයි මේ.

මෙම විශේෂිත ඇඳුම් කට්ටල රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම කොරෝනා ආසාදිතයන් සොයා ගම් දනව්  වල සැරිසරන මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිළධාරීන් වෙනුවෙන්ද මෙම ඇඳුම් කට්ටල අත්‍යවශ්‍ය බව ඔවුන් දන්වා සිටියත් ඒවා සපයා ගන්නට නොහැකි වූ රාගම, වත්තල, කැලණිය යන ප්‍රදේශ වල සේවයෙහි නියුතු මහජන සෞඛ්‍යපරීක්ෂක මහතුන් වෙත මෙම ආරක්‍ෂිත ඇඳුම් කට්ටල ලබා දෙන්නට විශ්ව පාරමී අප ඉදිරිපත් වුණා. රැය දහවල් නොතකමින් තම ජිවිත අවධානමද නොතකා රාජකාරිය නොපිරිහෙලා ඉටු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂණ මහතුන් අප ලබා දුන් එම ඇඳුම් කට්ටල පිං දීමෙන් යුතුව බාර ගත් ආකාරයයි මේ.

මෙම දරුණු කොරෝනා රෝගය හේතුවෙන් පීඩාවට  පත්ව සිටින බොහෝ පිරිසකට සුව සහනය සදන්නට කටයුතු කිරීමෙන් එක් රැස් වුණා වූ මේ උතුම් පිං ඔබ අප සෑම සියළු දෙනාහට අනුමෝදන් වීමෙන් නිදුක් නීරෝගී චිර ජීවනයම උදා වේවා ! ! !


Latest Posts

භාෂාව තෝරන්න