අති උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්

  4,062 views
සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ – සමධිට්ඨිත දක්ඛිණ ශාකභවං
සුභ මේඝ වනම්භර මේඝ නිභං – ජය බෝධි මහං පන මාමි වරං

මේ සක්වළ මුළුල්ලෙහි වැඩ වෙසෙන අනන්ත වූ දෙව් බඹුන්ගේත්, සකල ලෝක වාසී බෞද්ධ සැදැහැවතුන්ගේත් වන්දනාවට පාත්‍ර වූ අති උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව පිහිටි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වටා ඇති ආරක්‍ෂිත රන් වැට සහ ආධාරක කණු දඹ රනින් ආලේප කිරීමත්, බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස ඉදි කොට තිබූ බෝධි ප්‍රාකාරය මුලුමනින්ම ප්‍රතිසංස්කරණය කොට අඩි 3 ක් උස් කොට ශෛලමය ප්‍රාකාරයක් ලෙස  බුදු සසුන වෙත පූජා කිරීමේ අති දුර්ලභ පිංකම සිදු කරන්නට තරම් 2019 මැයි මස 11 වැනිදා විශ්ව පාරමී සාමාජික අප සියළුම දෙනා භාග්‍යවන්තයන් වූ වගයි.

එදා රජ දවස වන සතුන්ගෙන්, සතුරු උවදුරු වලින් බෝ සමිඳුන් රකින්නට රෑ දවල් නොතකමින් දිවි පරදුවට තබා කටයුතු කළ අතරම, බෝධීන් වහන්සේ වටා පළමු රන් වැට සහ දෙවන රන් වැට ඉදි කරන්නට පාලනාධිකාරිය විසින් පියවර ගනු ලැබූ අතරම, වසර 58 කට පසු රන් වැට සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත විශ්ව පාරමී අප විසින් සිදු කළ ආකාරයයි මේ. 

වැඩමවා වදාල අතිපූජනීය මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරෝද්ව්‍යාධිපති තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රියන් වහන්සේ සහ  සියම් නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක අටමස්ථානාධිපති ආචාර්ය සද්ධර්ම ජෝතික ධජ අති පූජනීය පල්ලේගම සිරි සුමන ධම්ම රක්ඛිත සිරි නිවාස නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්,  අතිපූජනීය ගම්පහ ප්‍රේමසිරි ස්වාමින් වහන්ස, අනුරාධපුර ප්‍රදේශ වාසි නායක ස්වාමීන් වහන්සේලාද, දඹදිව බුද්ධගයා විහාර කළමණාකාර  කමිටුව නියෝජනය කරමින් අපගේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට වැඩමවා වදාල අතිපූජනීය ධර්මේන්ද්‍ර කුමාර් භික්‍ෂූන් වහන්සේගෙන්ද, එම කමිටුවේ ලේඛකාධිකාරී නැන්ග්සේ ඩොර්ජී මහතා ඇතුළු එම මහත්මියද  ප්‍රමුඛ කොට ගත් ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 2019 මැයි මස 11 වන දිනට යෙදුණු සුභ මොහොතින් බෝධීන් වහන්සේ වටා ඇති පළමු රන්වැට සහ දෙවන රන්වැට ද බෝධීන් වහන්සේ දරා සිටින ආධාරක කණුද, බෝධීන් වහන්සේට බුද්ධ පූජාව, ගිලන් පස පූජා කිරීම සඳහා රන් ආලේපිත පාත්‍ර, රන් ආලේපිත තැටි, මල් බඳුන්, පැන් කෙන්ඩි ඇතුළු අංග සම්පුර්ණ පූජා භාණ්ඩ කට්ටලයන්  පූජා කිරීමද සිදු වූයේ මේ ආකාරයටයි. 

බෝධීන් වහන්සේ වටා ඉදිකොට තිබුණු බෝධි ප්‍රාකාරය තවත් අඩි තුනක් උස් කොට ශෛලමය ඇත් පවුරක් සහිතව අලුතින්ම  ශෛලමය බෝධි ප්‍රාකාරයක් ප්‍රතිනිර්මාණය කිරීම නිසාත්, ශෛලමය පිය ගැට පෙළත් බෝධීන් වහන්සේගේ ආරක්ෂාවත්, අලංකාරයත් විදහා පාන ආකාරයයි මේ.

මේ අති උතුම් පින්කමට සමගාමීව ගෞරවනීය මහා සංඝරත්නය 33 පැයක් පුරාවටම මැයි මස 10 වැනිදා රාත්‍රියේ සිට පිරිත් සජ්ජායනය කිරීමද, අවසානයේ බෝධීන් වහන්සේ උදෙසා 12 වැනිදා හිමිදිරියේ කිරි පිඬු පූජා කිරීමද, ඉන් අනතුරුව ගෞරවනීය මහා සංඝ රත්නයේ 37 නමක් උදෙසා උදෑසන හීල් දානයද අට පිරිකර සහිතව සෙසු පිරිකරද පූජා කරමින් දින තුනක් තිස්සේ පැවිති මේ මහා පින් පෙරහැර නිමාවිය.

තුන් තිස් පැය පිරිත් සජ්ජායනය

උදෑසන හීල් දානය

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ශ්‍රී මහා බෝධි වහන්සේගේ සංරක්ෂණය හා ආරක්ෂාව මුල් කොට ගනිමින් විශ්ව පාරමී දායකත්වයෙන් කළ මේ  මහා ඓතිහාසික මෙන්ම අති දුර්ලභ පිංකම ඇරඹූදා පටන් සාර්ථකව නිම කොට පූජා කරන තෙක්ම මේ සඳහා දිව්‍ය නෙත් යොමාගෙන ශක්තිය, ධෛර්යය ලබා දෙමින් ආරක්ෂා කළා වූ මිහිතලයේ සිට බඹතලය දක්වා අනන්ත වූ දෙව් බඹුන්ටත්, මේ සඳහා මඟ පෙන්වමින් අපට ආශීර්වාද කළා වූ ගෞරවනීය මහා සඟරුවනටත්, දිවා රෑ නොබලා ඉදිකිරීම් කටයුතු වලට ශ්‍රම දායකත්වය දැක්වූ කාර්මික ශිල්පීන් සහ සහකයන් ඇතුළු  විශ්ව පාරමී ඔබ අප සියළුම දෙනාටමත් උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට ආනුභාව බලයෙන් මේ ආත්ම භාවයේදීම නිවන් මඟට පිවිස සසර නමැති සැඩ පහර නිමා කොට උතුම් වූ නිවනින්ම නිවී සැනසීමට මේ උතුම් කුසලය හේතු වාසනා වේවා !

                                                   සාදු ! සාදු ! සාදු !!!


Latest Posts

භාෂාව තෝරන්න