සාදු සාදු අපිත් වඳිමු ගෞතම මුණි සිරිපා

  3,218 views

ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හඳුන්වති. බෞද්ධ ජනයා මෙම පූජනීය කන්ද හඳුන්වන්නේ “ශ්‍රීපාද” යන නාමයෙනි. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි. මීට වසර 2564 කට පෙර, අප මහා කාරුණිකයාණෝ තෙවන වරට ලක්දිවට වැඩම වූ අවස්ථාවේදී සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන්ගේ ඉල්ලීමකට අනුව, කඳු මුදුනේ උන් වහන්සේගේ වාම  සිරි පතුල සලකුණු කොට ඇති බව බෞද්ධයන්ගේ විශ්වාසය යි. එතැන් පටන් ශ්‍රුද්ධා භක්තියෙන් ඔද වැඩුණු සැදැහැතියන් අති දුෂ්කර මාර්ගයන් පවා නොතකමින් බුදු සිරිපා කරුණා කරන්නට පෙළ ගැසුණෝය.

එමෙන්ම, Adam’s Peak නාමය එක් වන්නේ, කිතුනු බැතිමතුන් විශ්වාස කරන පරිදි, ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බව ය. තවද, මුස්ලිම් බැතිමතුන්ද සිරිපා කරුණාවට එක් වන්නේ ඔවුන්ගේ දෙවියන්ගේ  පා සටහන් සලකුණු වන්දනාමාන කර ගැනීමේ අදහසිනි. දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. ලෝකයේ ප්‍රධාන ජාතීන් 4ක් එකට වන්දනාමාන කරන එකම කන්ද ලෙස ශ්‍රීපාදස්ථානය හැඳින්විය හැක. 

ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ, සමනළයන් උන්ගේ වාර්ෂික සංක්‍රමණයේ දී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා “සමන්ත කූට” යන නමින් ද ශ්‍රීපාදස්ථානය හඳුන්වයි.

බුද්ධං සරණේ සිරස දරාගෙන – ධම්මං සරණේ සිත් පහදාගෙන

සංඝං සරණේ සිවුරු දරාගෙන – ඉන්නයි මේ තුන් සරණේ අදහාගෙන.

පැරණි මාර්ග

ශ්‍රීපාදස්ථානයට පිවිසීම සඳහා මාර්ග හයක්  භාවිතා කළ හැක. ඒවා නම් හැටන්-නල්ලතන්නි, රත්නපුර-පලාබද්දල, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මුකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ගයි. ඒ සඳහා ඇති කෙටිම  සහ බොහෝ දෙනෙක් භාවිතා කරන මාර්ගය නම් හැටන් – නල්ලතන්නි මාර්ගයයි. වසර ගණනාවකින් පූර්ණ ප්‍රතිසංස්කරණයක් නොවුණු කිලෝමීටර්  6 කටත් අධික, දුෂ්කර සිරිපා  නල්ලතන්නි මාර්ගය පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය තදින්ම තිබූ මොහොතක  ශ්‍රී පාදස්ථාන නායක ස්ථිවිරයන් වහන්ස අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ගේ ශ්‍රුම දායකත්වයෙන් කටයුතු අරඹන්නට විශ්ව පාරමී පදනම මූලිකත්වය ගනු ලැබුවේ 2018 සැප්තැම්බර් 13 වැනිදාය.

සේදී ගිය පැරණි මාර්ගය කොන්ක්‍රීට් කිරීමත්, තැන තැන කැඩී ගොස් අබලන්ව ගිය පඩි වෙනුවට සුව පහසු පඩිපෙළත්, බාල මහළු කොයි කාගේත් ගමන් විඩාව දුරු කළ හැකිවන පරිදි තැනුණු අත්වැටත් තවත් චිරාත් කාලයක් පවතින සේ ප්‍රතිසංස්කරණය කරන ලදී. මීට අමතරව, සැදැහැවතුන්ගේ පරිහරණය සඳහා පැවති වැසිකිළි පද්ධතියම මුළුමනින්ම නවීන අංගෝපාංග යොදා ගනිමින් නිමකරනු ලැබුවේ  එයද අත්‍යවශ්‍ය කරුණක් වූ බැවිනි.

ඉඳහිට අත රැඳෙන කුඩා ගමන් මල්ලක් හැරෙන්නට වෙනත් කිසිත් නොමැතිව පවා මහත් අපහසුවකින් තරණය කරන මෙම මඟ තැනීම සඳහා අවැසි ගල්, වැලි ඇතුළු සියළුම අමුද්‍රව්‍යන් පුරවාගෙන ඔවුන්ගේ කරමතින්ම උඩට ගෙන යමින් දිවා රෑ නොබලා, අව් වැසි නොතකමින්, දිරියෙන්, වීර්යයෙන් නොපමාව කටයුතු කළ නාවික හමුදා සාමාජිකයන් ඉටුකළ මෙහෙය නම් පැසසුමට ලක් කළ යුතුමය. මෙම මාර්ගය පිළිසකර කිරීමට අවුරුදු දෙකක කාලයක් ගත වූ අතර සිරිපා වන්දනා සමයේ එනම්, සෑම වසරකම දෙසැම්බර් මස පසළොස්වක පෝදා සිට වෙසක් පසළොස්වක පෝදා දක්වා බැතිමතුන්ට බාධාවක් නොවන අයුරින් අර්ධ කාලීනව මාර්ගය  සංවර්ධන කටයුතු කල අතර, ඉතිරි මාස 6 පූර්ණ කාලීනව ශ්‍රම දායකත්වය ලබාදුනි.

2020 දෙසැම්බර් මස 29 වන උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වූ සිරිපා වන්දනා සමය සමඟ ඉතා සුවපහසු ආකාරයෙන් සිරිපා වන්දනා කිරිම පිණිස තැනූ සිරිපා මාර්ගය දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පරිහරණය වෙනුවෙන් මෙසේ බැති සිතින් ශ්‍රී පාදස්ථාන නායක ස්ථිවිරයන් වහන්ස අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ වෙත විශ්ව පාරමී සහ නාවික හමුදාවේ සාමාජිකයන් විසින් පූජා කල බව මෙත් සිතින් මෙසේ සටහන් කරමු.

මෙලෙස ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කළ සිරිපා මග සඟ සතු කිරීමෙන් අනතුරුව, මේ ඓතිහාසික පිංකම පිළිබඳව සටහන් කෙරුණු සමරු පලකය සිරිපා වන්දනා කරන දහස් සංඛ්‍යාත බැතිමතුන් ඇතුළු අනාගත පරපුරට දැක බලා සතුටු වී පිං රැස් කරගැනීම පිණිස මෙසේ ස්ථාපිත කරන ලදී.

බුදු සිරිපා වඳින්නට පුදන්නට සැදැහැ සිතින් සිරිපා කරුණා කරන බැතිමතුන් තබන තබන පියවරක් පාසා එයින් ජනිත වූ සියළු පින් බෙලෙන් මේ සඳහා දායක වූ සියල්ලන්ගේම ජිවිත ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා.!!

සිරිපා පියුමේ . . රොන් සුනු තැවරී

ගිමන් නිවන පවන් හමා ඒ . . නිවී පහන් වී ළය සැනැහේ

නිවන් මගට මග පානා . . සමනොළ රන්ගිර මුදුනේ

බැන්ද වියන් සේ . . අරුනු වලා රන් සළු පැටලේ

සිත කිමිදේ . . ලොව්තුරු සුවඳේ


Latest Posts

භාෂාව තෝරන්න