විල්ගම් වෙහෙර මහා සෑය

  29,873 views
විල්ගම් වෙහෙර මහා සෑ සිරසෙහි චූඩා මාණික්‍ය පැළඳවීමේ අති උතුම් පිංකම මෙසේ සිදු කළ වගයි.

තුන් හෙළයම එක් සේසත් කල අතීත රජ සමය අපට කියා පාන්නේ ප්‍රෞඩ ඉතිහාසයක අභිමානවත් බවයි. පරපුරෙන් පරපුරට බුදු දහම දායාදව රජකම උරුම වූ රජවරුන් තම පාලන සමය විශිෂ්ටවත් කිරීම සඳහා තම දිවි දෙවැනි කොට උතුම් ශ්‍රද්ධාවෙන් තැනූ වෙහෙර විහාර මේ යුගයේ ජීවත් වන අපව විස්මයට පත් කරන්නට සමත්ව ඇත. එලෙස, මීට වසර 2300කට පෙර ගිරි අභය රජ විසින් විල්ගම් වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරනු ලැබූ අතර, එතැන් පටන් දෙව් ලොව දෙවියන්ගේත්, බඹ ලොව බඹුන්ගේත්, නා ලොව නාගයන්ගේත්, මනු ලොව මිනිසුන්ගේත් අපමණ වන්දනාවට පාත්‍ර වූ ඒ මහා චෛත්‍ය රාජයාණන් සතුරු ආක්‍රමන හමුවේ විනාශව කාලයාගේ ඇවෑමෙන් යටපත්ව ගොසිනි.

එවන් ඉතා වටිනා ඉපැරණි මේ පින් බිම මතු පරපුර වෙත දායාද කිරීමේ උතුම් චේතනාවන් පෙරදැරිව  2016 වසරේ ජනවාරි මස එහි වැඩකටයුතු අරඹන්නට විශ්ව පාරමි පදනම මූලිකත්වය ගනු ලැබුවා.

එසේ  සැදැහැ සිතින් අරඹන ලද විල්ගම් වෙහෙර පරිශ්‍රුයෙහි වැඩකටයුතු පියවරෙන් පියවර නිම කිරීමට නියමිතයි. මේ අතර, පසුගිය මැයි මාසයේ යෙදුණු සුභ මොහොතින් අළුදෙනියේ සුබෝධි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සඟ රුවනේ ආශිර්වාදයෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තීන්ත ආලේප කිරීම සිදු කරන්නට යෙදුණා.

ගඩොලින් තැනූ වැලි මළුවක් සහිතවූ එම පුණ්‍යභූමිය අපට පෙන්වා දෙන්නේ එහි ඇති අති පෞරාණික බවයි.

සියලු වැඩ නිම වූ චෛත්‍ය රාජයාණන් වහන්සේට චූඩා මාණික්‍ය පැළඳවීමේ පින්කමට මූලාරම්භය වශයෙන් 2020 ජුනි මස 27 වන දින චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා කංචුක තුනකින් සැරසීමට කටයුතු කරන ලදී. අනතුරුව ඕලු, නෙළුම්,මහනෙල් මලින් පිරවූ මැටි කල වලින්ද,  පුන්   කලස්  වලින්ද,   සුවිශේෂී   ආකාරයට   දැල්වූ   පහන්ද  චෛත්‍ය  වටා  තබමින් ආලෝකමත් කරන ලදී.

මුළු මහත් පූජා භූමියම බෞද්ධ කොඩි වලින් සරසා විදුලි බුබුළු වලින් ආලෝකමත් කරමින්,චෛත්‍ය වටා සුවඳ දුමින් දසත සුවඳවත් කරනු ලැබුවා. අනතුරුව, හේවිසි ශබ්ධ පූජා මධ්‍යයේ නව සංඝාවාසයේ සිට චෛත්‍ය මළුව වෙත කොත් වහන්සේ සහ චූඩා මාණික්‍යය වැඩම කරවා සම්බුද්ධ අෂ්ට පාන සහ ගිලන්පස පූජාව පැවැත්වීමෙන් අනතුරුව, විල්ගම් වෙහෙර මහා සෑ වන්දනාව පවත්වන්නටද යෙදුණා. අනතුරුව, පැය දෙකක පමණ කාලයක් සැදැහැතියන්ගේ වන්දනාමාන කටයුතු සඳහා චූඩා මාණික්‍යය පූජා භූමිය තුළ ප්‍රදර්ශනය කරනු ලැබුවා.

පහන් වූ පසු දින එනම්, 2020 ජුනි 28 වෙනි දින ගරුතර මහා සංඝ රත්නයේ මූලිකත්වයෙන් හේවිසි නාද මධ්‍යයේ චූඩා මාණික්‍යය සහිත කොත් වහන්සේ චෛත්‍ය මළුව වෙත වැඩම කරවා මහා සෑය වටා පැදකුනු කොට මහා සෑ මස්තකයට වැඩම කරවනු ලැබුවා.

පසුව, දහසක් බුදුන් බුදු වූ ඒ පින්බර හිමිදිරි උදෑසන හිරු උදාවත් සමග යෙදුණු සුභ මොහොතින් චෛත්‍ය වටා හේවිසි කරුවන්ගේ හේවිසි හඬ, හක්ගෙඩි සහ මගුල් බෙර හඬ පෙරටුකොටගත් සෙත්පිරිත් බුදු ගුණ සජ්ඣායනා සහ දස දහසක් සාදු නාද මධ්‍යයේ ඉන්දියාවෙන් මෙරටට වැඩමවන ලද ඉතා වටිනා චූඩා මාණික්‍යය සහිත පාදම, කොත් වහන්සේ මත, එනම් චෛත්‍ය රාජයාණන් සිරසෙහි තැන්පත් කරනු ලැබුවා. අනතුරුව, මහ සඟරුවනේ ආශීර්වාදයෙන් සුවඳ පැනින්ද චූඩා මාණික්‍යය දෝවනය කරණු ලැබුවා.   

රන් බන්දේසි මත ඉතා සුපිරිසිදුව කිරි ආහාර, පිච්ච මල් සහ ඖෂධ පිළියෙළ කොට ඒ සියලුම පූජාවන් අප මහා අමා මෑණි බුදුපියාණන් වහන්සේට පූජා කරනු ලැබුවා.

ඉන් අනතුරුව, පැමිණි සිටි සියල්ලන්ගේ සාදු නාද මධ්‍යයේ  මහා සෑ මළුවෙහි ගම්පහ ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේත්, කිරිත්බත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේත්, අළුදෙනියේ සුබෝධි ස්වාමීන් වහන්සේත්, පෙරටු කොටගත් ස්වාමින් වහන්සේලා130ක් නමක් පිණ්ඩපාත චාරිකා කළ අතර, එම ස්වාමීන් වහන්සේලා උදෙසා අති මහත් ශ්‍රුද්ධාවෙන් පිළියෙළ කළා වූ හීල් දානය පූජා කරනු ලැබුවා. ස්වාමින් වහන්සේලා සඳහා අෂ්ට පරිෂ්කාර ඇතුළුව අනෙකුත් පිරිකරද පූජා කිරීමෙන් ද අනතුරුව ධර්මානුශාසනාව පවත්වනු ලැබුවා.

අවසානේ පැමිණි සිටි සියල්ලන් වෙනුවෙන් කිරිබත්, කැවුම්, කොකිස් වලින් සංග්‍රහ කොට වැඩසටහනේ නිමාව දුටුවා.

ශ්වේත වර්ණයෙන් බබළමින්, දුටු දුටුවන් සිත් නිවා සනසන විල්ගම් වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉතාමත් නුදුරේදීම දස දහස් ගණන් සැදැහැතියන්ගේ උතුම් වන්දනාවට පාත්‍රු වනු ඇති. මෙත් සිත් පෙරදැරිව, පින් සිත් වඩන්නට විශ්ව පාරමී අප දරන්නා වූ වෑයම ඔබගේ දෙනෙතින් දැක බලා සාදු සිතින් අනුමෝදන් වීමට ඔබ සෑම දෙනාටම හැකි වේවා . ! සාදු !!! සාදු !!! සාදු !!!


Latest Posts

භාෂාව තෝරන්න