රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය

  5,001 views

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය රත්නය සෑ මළුවේ සුගන්ධ කුටියෙහි තැන්පත් කල වගයි

අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ රජ දරුවන් බුදුන් පුදන්නට නිමැවූ දෑස් අදහාගත නොහැකි විස්මිත නිමැවුම් වර්තමානයේද බොදුණු සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව වඩාත් තීව්‍ර කරගනු වස් ශේෂව තිබීම කෙතරම් නම් භාග්‍යක්ද ?

එවන් විස්මිත නිමැවුම් අතරින් දුටුගැමුණු රජු විසින් තුන්ලොවට තිළිණ කළා  වූ අප මහා තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදි කළා වූත්, සම්බුද්ධ ශාසනය නිමාවන දින ධාතු පරිනිර්වාණය  සිදු වන තාක් තැන්පත්ව පවතින්නාවූත් ඒ මහා අසම සම රුවන්වැලි මහා සෑය 1940 වර්ෂයේදී රන්සිරිනෙල් මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ප්‍රතිසංසකරණය කරන්නට යෙදුණි. ඉන් අනතුරුව රජයකින් රජයකට කරන සහයෝගයක් ලෙස බුරුම රජයෙන් පරිත්‍යාග කෙරුණු ඉතා වටිනා චූඩා මාණික්‍ය 1940 ජුනි මස 17 වැනි දින   මහා සෑයේ කොත් වහන්සේ මත තැන්පත් කරන ලදී.

එතැන් පටන් එම චූඩා මාණික්‍ය විශ්ව පාරමී පදනමේ මුලිකත්වයෙන් 2019 වසරේ නොවැම්බර් මස 25 වැනිදා නව චූඩා මාණික්‍ය තැන්පත් කරන තෙක් වසර 80ක් පුරාවට  මේ මහා විශ්වයටම සෙත සැලසුවාය. අප අමා මෑණි තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ බුද්ධ ශක්තිය දසත විහිදුවාලමින්  විරාජමානව මහා සෑ කොත මුදුනෙහි තැන්පත්ව තිබූ ඉපැරණි චූඩා  මාණික්‍යය බුරුම රට හා ඇති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධය පිළිබිඹු කරන ලදී. කෞතුක වටිනාකම මුල්‍යමය වටිනාකම හා පූජනීයත්වය සළකා මෙම ඉපැරණි චූඩා  මාණික්‍යය සෑ මළුවෙහි දකුණු දිශාවේ පිහිටි සුගන්ධ මන්දිරයෙහි තැන්පත් කීරීමට අටමස්ථානාධිපති ස්වාමින්වහන්සේගේත්, ස්වාර්ණමාලිරාමාධිකාරී ස්වාමින්වහන්සේගේත්  අදහස විය.

ඉතා විචිත්‍රවත් සියුම් කැටයමින් බිත්ති අලංකාර කොට තිබූ මෙම මන්දිරයේ ඇතුලත කුටියේ  බිත්ති රන් ආලේපිත අලංකාර කැටයම් සහිත නෙලුම් මල් දෙසීයකින්ද, ඒවා වටා රන් ආලේපිත ලියවැල් වලින්ද අලංකාර කොට ඇතුල්වන දොරටුද රන් ආලේපිත කර නව විදුළි බුබුළු පද්ධතියක ආධාරයෙන් එම කුටිය ඒකාලෝකමත් කොට  විශ්ව පාරමී පදනම මගින්  ප්‍රතිසංස්කරණය කළේ මෙම පුණ්‍ය භුමියේ විශේෂ කුටියක් ලෙසය.   

මේ මහා පිංකමට මූලාරම්භය දෙමින්  ජූනි මස 17 වෙනි දින සවස  තුන්වරු පිරිත් සජ්ජායනාව ආරම්භය කළේය. 18 වැනිදා උදෑසන පේසා වළලු රන් පැහැති කංචුක වලින් සැරසීමත්, මහා සෑ පුණ්‍ය භූමියම ඉතාම අලංකාර සුවඳවත් මලින් වර්ණවත් කර දසත සුවඳ විහිදුවා ලමින් මානෙල් මලින් සැරසු මැටි කල 200 සහ විචිත්‍ර මල් කළඹවල් 100 මහා සෑයේ පේසා වළල්ල මත තැන් පත් කලේ චෛත්‍යයේ අලංකාරය වැඩිකරමින්ය. ඊට අමතරව LED විදුලි ආලෝක බුබුළු දස දහස් ගණනක්  සෑ මළුවට ඇතුල්වන මාර්ගයේ සිට චෛත්‍යයේ පේසා වළලු 3 වටා ආලෝකමත් කලෝය. 

ඉන් අනතුරුව දස දහසක් සුර නර දෙවු බඹුන්ගේ වන්දනාවට පාත්‍ර වූ ඉපැරණි චූඩා  මාණික්‍යය රත්නය වඩා හිඳ වූ මලින් සැරසූ රන්සිවි ගෙයින් මහා විහාරයේ සිට රුවන්වැලි සෑ පෙත්මඟ දක්වාද, එතැන් සිට සුදු පාවඩ මතින් හේවිසි හඬ සමඟින්  බෞද්ධ කොඩි පෙරටු කරගත් මහා සංඝරත්නය සමඟ රුවන්වැලි මහා සෑ සලපතල මළුවේ සුගන්ධ මන්දිරය වෙත වැඩම කළේය.

සුභ මොහොත එළැඹෙන තෙක් රන්වැලි සෑ සමිඳුන් අභියස තැන්පත් කළ චූඩා  මාණික්‍යය අභියසදී මහා සඟරුවනේ ආශීර්වාදයෙන් පසුව එළැඹි සුභ මොහොතින් හේවිසි කරුවන් සිය දෙනෙකුගේ ශබ්ධ පූජා මධ්‍යයේ රතු පලස මතින් සුගන්ධ මන්දිරයේ රන් කුටිය තුළ අති මහත් ශ්‍රද්ධාවෙන් තැන්පත් කළේය.

අනතුරුව රන් ආලේපිත බඳුන් වල පිළියෙළ කළ අෂ්ඨපාන ගිලන්පසින් සහ සුවඳවත් මලින් පුදා මහා සංඝරත්නයේ මග පෙන්වීමෙන් පැමිණ සිටි සියල්ලන්ම පංචසීලයේ  පිහිටුවන ලදී. මේ සියළුම පූජාවන් අප මහා භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව සැමට සෙත් පතා  පිරිත් සජ්ඣායනා කොට තුන්වරු පිරිත නිමා කරන ලදී.

වැඩමවා වදාල අති පූජනීය අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාසි නාහිමියන්, ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන් සහ කඳුබොඩ ප්‍රේමසිරි හාමුදුරුවන් ප්‍රමුඛ මහා  සඟරුවනට පිරිකර පූජා කිරීමෙන් අනතුරුව අපමන  ශ්‍රද්ධාවෙන් රුවන්වැලි මහා සෑ සමිඳුන් අභියස කළ පිංකම මෙසේ නිමා කරන්නට විය. මෙතැන් පටන් ඉපැරණි චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනය සඳහා විවර වූයෙන් එදින සහභාගී වූ සියළුම බැතිමතුන්හට එය අසලටම ගොස් වන්දනා කිරීමේ භාග්‍යය ද උදා විය.

සැදැහැසිත් පෙරටු කර ගනිමින් සිදු කළ මේ සියළුම පූජාවන් අප මහා තථාගතයන් වහන්සේට පූජා වේවා! පූජා වේවා!! පූජාම වේවා!!! මෙත් සිත් පෙරදැරිව, පින් සිත් වඩන්නට විශ්ව පාරමී අප දරන්නා වූ වෑයම ඔබගේ දෙනෙතින් දැක බලා සාදු සිතින් අනුමෝදන් වීමට ඔබ සෑම දෙනාටම හැකි වේවා..!


Latest Posts

භාෂාව තෝරන්න