Category Archive

ප්‍රජාසත්කාර

ආහාර පාන බෙදාදීම

දිළිඳු පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර පාන බෙදාදීම අනුරාධපුර, විල්ගම්වෙහෙර, නාත්තන්ඩිය

“ගමයි පන්සලයි – වැවයි දාගැබයි” සංකල්පය ආදී මුතුන් මිත්තන් අපට උරුම කර දුන් දායාදයකි. ඒ අනුව , වර්තමානයේද බොහෝ පිරිස් පන්සල සමඟ බැඳී ඇත්තේ බුදු දහමට අනුව හිමි සැනසීම පතායි.

ඒ අනුව විශ්ව පාරමී අප පදනම ඍජුවම සම්බන්ධ වන අනුරාධපුරයෙහි අටමස්ථාන නායක ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම සහ මූලිකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතාවයට පත්ව ඇති දුෂ්කර  ගම්මානවල අසරණ දිළිඳු පවුල් දහස් ගණනක් සඳහා මිරිසවැටිය විහාරය සහ අභයගිරි විහාර භූමීන් තුළ සිට  අත්‍යවශ්‍ය ආහාර පාන ඇතුලත්  වියළි ආහාර මළු බෙදාදීමේ වැඩසටහන් විශ්ව පාරමී මූලිකත්වයෙන් ක්‍රියාත්මක  කිරීමට හැකිවිය.

මිරිසවැටිය විහාරය

මේ වන විටත් රටේ පවතින රෝග බිය මුලික කරගෙන ගොවිතැනෙන් සහ එදිනෙදා කුලී වැඩක් කරමින් ජීවත්වූ දුෂ්කර පවුල් වලට සෙත සාදන අරමුණින් මෙම වැඩසටහන  ක්‍රියාත්මක කළේය.   

අභයගිරිය විහාරය

විල්ගම් වෙහෙර - සේරුවිල

"අරණ" - නාත්තන්ඩිය

විශ්ව පාරමී නිකේතනය වන  නාත්තන්ඩිය “අරණ” භාවනා මධ්‍යස්ථානයත්, විශ්ව පාරමී සහ ධම්ම පාරමී මුලිකත්වයෙන් ප්‍රතිසංස්කරණ වන සේරුවාවිල විල්ගම් වෙහෙර  විහාරයත් කේන්ද්‍ර කර ගනිමින් ඒ අවට ජිවත් වන අසරණ දිළිඳු පවුල් සඳහාත් වියළි ආහාර ලබා දීම ඉතාමත් සුරක්ෂිත ආකාරයට පසු ගියදා සිදු කළ ආකාරයයි මේ.

මෙම සියළුම වැඩසටහන් ජාති ආගම් බේදයකින් තොරව ක්‍රියාත්මක කල බව මෙත් සිතින්  සටහන් කරමු.

දාන, ශිල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා  වලට  මුල්තැන දෙමින් මේ මහා විශ්වයටම සෙත සලසන විශ්ව පාරමී අප පදනම විසින් සිදු කළ වූ මේ පුණ්‍යක්‍රියා වල බල මහිමයෙන් රට තුළ උද්ගතව පවතින රෝග බිය දුරින් දුරු වී සැමට සෙතක් ශාන්තියක් ආශීර්වාදයක්ම සැලසේවා!

                                        සාධූ !  සාධූ ! ! සාධූ ! ! !

වියළි ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය

භයානක කොරෝනා වසංගතය සමයේ ආගමික ස්ථාන සදහා වියළි ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය

පැතිරී යන අති භයානක කොරෝනා වසංගතය මැඩපැවැත්වීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ඇඳිරිනීති තත්ත්වය  හමුවේ අසරණ වූ පිරිස් බොහෝමයි. අනපේක්ෂිතව සිදු වූ මේ මහා ව්‍යසනය හමුවේ මුළු මහත් ලෝකයම එකිනෙකාගෙන් වෙන්ව හුදෙකලාව තම පණනල රැක ගන්නට වෙර දරණ මේ මොහොතේ පවා උදව් අවශ්‍ය  ආගමික ස්ථාන සොයා යන්නට කැපවුණු නොනවතින විශ්ව පාරමී පිං පෙළහරේ තවත් පිටුවක් මෙසේ සටහන් කොට තබමු.

හම්බන්තොට

දායක දායිකාවන්ට දානය රැගෙන යෑමට  නොහැකි වාතාවරණයක, එවැනි දාන මාන  නොලැබෙන දුෂ්කර පළාත්වල භික්ෂූන් වහන්සේලා සහ දසසිල් මෑණිවරු  වැඩ වාසය කරන ආරණ්‍ය සේනාසන, පන්සල්, පිරිවෙන්, දස සිල් ආරාම මෙන්ම පල්ලි සඳහා වියළි ආහාර බෙදා දීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට විශ්ව පාරමී  මූලිකත්වය ගත්තේය.

මඩකලපුව

දිවයින පුරා ආරණ්‍ය සේනාසන, පන්සල්, කතෝලික පල්ලි සහ මුස්මෙලිම්න්ම පල්ලි වෙනුවෙන් වියළි ආහාර ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර, මාතර, හම්බන්තොට, මොනරාගල සහ  අම්පාර යන දිස්ත්‍රික්කත් තුලත් සාර්ථකව අවසන් විය. ඊට ශ්‍රම දායකත්වය එම පළාත්වල ස්වේච්ඡා මිතුරන්ගෙන් නොවඩුව ලැබූ බවද හදපිරි ප්‍රණාමයෙන් යුතුව සටහන් කරන්නෙමු. 

පොලොන්නරුව

ආගම්, ජාති බේදයකින් තොරව ක්‍රියා කරන විශ්ව පාරමී කණ්ඩායම එහි දෙවන අදියර ලෙස මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ වවුනියාව දිස්ත්‍රික්කද සාර්ථකව පසුගිය සති අන්තයේ  නිම කරේ ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකායේ ද සහය ඇතිවය. 

ත්‍රිකුණාමලය​
මොණරාගල

ඔබත් මෙම පිංකම් දකින්න, විදින්න අනුමෝදනා කරගැනීමට දක්ෂ වන්න.

මේ උතුම් පිංකම් වල සත්‍යානුබල මහිමයෙන් රට පුරා පැතිර යන දරුණු කොරෝනා වසංගතය ඉතා ඉක්මනින් දුරු වී ලක් මවටත් ලක්වැසි ජනයාටත් සකල ලෝ වැසියන්ටත් නිදහසින් සතුටින් ජීවත් වන්නට අවැසි පරිසරයක් උදා වේවා ! !

පිවිතුරු පැන්

මධ්‍යහනයේ හිරු ගිනිගෙන දැවෙයි. අවට පරිසරයද ගිනිගෙන දැවෙනවායි සිතෙන්නේ එහි ඇති රස්නය නිසාමය. තිබහ ඇතත් තිබහට වතුර නැත. වියළුණු පොලව මත ගව් ගානක් පයින් ඇවිද ගොස් වතුර කලයක් සොයා ගත්තද එය බීමට සුදුසු නැත. හේතුව එහි ඇති කිවුල් වතුරේ ඝන ලෝහ මෙන්ම වස විස මුසුවී ඇති බැවිනි. මෙය ඔවුන් අද ඊයේ මුහුණ දුන් ගැටළුවක් නොව පරම්පරා ගණනාවක් නොකඩවා මුහුණදෙන ගැටලුවකි. මේ දුක කාට කියන්නද? කිව්වත් මේ වන තෙක් කවුරුවත් ඊට ඇහුන්කම් නොදුන්නේය.

මහමේව්නා අසපුව මඟින් ක්‍රියත්මක කොට ඇති වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවදානෙන් පෙලෙන අපේම ජනතාව උදෙසා පිරිසිදු පානීය ජලය ලබාදීමේ සත්කාරයක් වන පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතීයේ විශ්ව පාරමී පූර්ණ දායකත්වයෙන් පුජාකළ තුන්වන ජල පිරිපහදුව මන්නාරමේ සිට කිලෝමීටර් 31 දකුණට වන්නට පිහිටි සිලාවතුර නගරයට නුඳුරින් පිහිටි ගම්මානයක පසුගිය 11 වැනිදා සවස ජනතා පරිහරණයට බාරදෙන ලදී. මෙම වැඩසටහන මහමේව්නා අසපුව සමඟ එක්ව කරන වැඩසටහනකී.

මෙම ජල පිරිපහදුව පිහිටා ඇති කොන්දච්චිය, සිහල විජේගම අවට බහුතරයක් මුස්ලිම්වරුන් ජිවත්වන ප්‍රදේශයක් වන අතර එය ඉදිකිරීමට භුමිය පරිත්‍යාග කිරීම සුනිල් දයානන්ද මහතා විසින් වීම විශේෂයි. ආගම් භේදයකින් ජාති භේදයකින් තොරව විශ්ව පාරමී පුර්ණ දායකත්වයෙන් මෙම පානීය ජල පිරිපහදු ව්‍යාපෘතීය ජනයා අතට පත්කළ අතර මෙම ව්‍යාපෘතීය සාර්ථක කරගැනීමට අප සමඟ එකට වැඩකළ මහාමෙව්නා අසපුව, ශ්‍රද්ධා මාධ්‍ය ජලය මෙන්ම එම ජල කුළුණ ඉදිකිරීමට ශ්‍රම දායකත්වය මෙන්ම පවත්වාගෙන යෑමට සහය ලබාදෙන ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බලකායද මෙත් සිතින් සිහිකරමු.

එමෙන්ම 2014 පෙබරවාරි මස පදවි ශ්‍රීපුර සීවලීපුරත් ගම්මානයේත් සහ 2016 පදවි ශ්‍රීපුර, මොණරවැව ගම්මානයේත් මෙවැනිම ව්‍යාපෘතින් දෙකක් සාර්ථකව නිම කල බව සටහන් කරමු.

මෙය දැක සතුටුවූ සියළු දෙනා මෙන්ම, සියළු දෙවියෝද සාධු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා! සාදු! සාදු! සාදු!

කඳුලට සිනහවක්

තම කුසට අහරක් නැතිව, නෙතට නිදි නැතිව, රැය පහන් කරමින් මතු දවසක තම පුතුන් රජුන් කරන්නට උතුම් අම්මාවරුන්, උතුම් පියවරුන් විඳින ලද අනේකවිද දුක් කඳුළු පිසදා සිනාසෙන්නටත්.. ඔවුන්ගෙන් සැනසෙන්නටත් සිතූ පැතූ එම සිහින බොඳව ගොස්, මහළුව ගතින් දුබල වූ ඔවුන්ගේ එකම පිළිසරණ වූ මහළු නිවාසයක බිත්ති අතර තනිව, තම ජීවිතය ගෙවා දමනා ඔවුන්ගේ දෙනෙත් නිතර කඳුලින් තෙමී බොඳව යන්නේ තම දුවා දරුවන් තමා ළඟ සිටිය යුතුම වූ අවධියේ ඔවුන් තමා අතැර යාමේ වාවාගත නොහැකි වූ දුක ඉවසා දරා ගත නොහැකිම වූ නිසාවෙනි.

වාරුව නැති වී පාළුව සමඟින් මහලු වෙලා මා ඉන්න වෙලේ

මා පිළිගන්නට බලා සිටින්නේ මරණය හැර වෙන කවුද ලොවේ

ඉඳහිට කවුරුත් මාව බලන්නට එනවිට සිත තුළ සතුට පිරේ

පාළුව තනිකම මකා දමන්නට නිතරම කඳුළැලි දෙනෙතේ රැඳේ

එළිවෙයි රෑ වෙයි දවස ගෙවී යයි වෙනසක් මට නෑ තේරෙන්නේ

දවසේ පැය ටික ගෙවා දමන්නට නිදි පැදුරේ ඉඳ නොමැරී මැරේ

රෝද පුටු පරිත්‍යාගය

නිදහසේ ඇවිද යමින් තම සිතැඟි සපුරා ගනිමින් කිසිවෙකුටත් බරක් නොවූ ඔවුන් හදිසියේ අත්තටු සිඳ දැමුවාක් මෙන්, තම දෙපා අහිමි වීමෙන්  පත් වූයේ කියා නිම කළ නොහැකි තරමේ දුක්ඛදායක ඉරණමකටයි.

දෙපා තිබුණු අවධියේ තමන්ට රිසි සේ ගම් නගර සිසාරා ඇවිද ගිය ඔවුන්ට, දෙපා අහිමි වීමෙන් තම නිවසේ පවා එහා මෙහා යාමට නොහැකිව ඇඳත්පුටුවත් උරුම කරගෙන තම ජීවිතය ගෙවා දමමින් සිටියේ ඉතාමත් අසරණවයි.

වාර්ෂික වෙසක් දානය

දස පාරමී දම් පුරමින් මතු බුදු බවම පැතූ අප මහා ශාස්තෘවරයාණෝ ලොව පහළ වීම, සම්මා සම්බුද්ධත්වයට පත් වීම, පරිනිර්වාණයට පත් වීම යන මේ උතුම් මංගල කරුණු සිදු වූ අසිරිමත් වෙසක් පුන් පොහොය දිනය නිමිති කර ගනිමින් ඒ මඟ ගමන් ගන්නා අනුගාමිකයන් වූ විශ්ව පාරමී අප සැමගේ දායකත්වයෙන් සිදු කරනු ලබන වෙසක් දින ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දානමය පිංකම 12 වරටත් අති සාර්ථක ලෙස පවත්වන්නට ලැබුණු බව පිං සිත් පෙරදැරිව දැනුම් දෙන්නෙමු.

බුදුන් වහන්සේ වෙලාම සුත්‍රයේ සඳහන් කළ පරිදි දානයක් මහත් ඵල මහානිසංස වීමට අවැසි කාරණා 03 වූ ප්‍රතිග්‍රාහක සම්පත්තිය(ලබන කෙනාගේ සිල්වත් වීම), දෙයියධම්ම සම්පත්තිය(දාන වස්තුව ධාර්මිකව රැස් කළ එකක් වීම), දායක සම්පත්තිය(දන් දෙන කෙනාගේ සිල්වත් බව) යන සියල්ලම හොඳින් වටහාගත් අප මහත් ශ්‍රද්ධාවෙන් යුතුව පිළියෙළ කළා වූ බුද්ධ පූජාව බුදුන් වහන්සේට පූජා කිරීම සිදු වූ ආකාරයයි මේ.

අනතුරුව සැරියුත් මුගලන් ආදී ආර්ය මහා සංඝ රත්නයෙන් පැවැත එන්නාවූ ආර්ය මහා සංඝ රත්නයේ 12 නමක් සඳහාත්, සිල් ගුණ දම් පුරන මෙහෙණින් වහන්සේලා 05 නමක් සඳහාත්, එදින උතුම් වූ ශිලය සමාදන් වූ උපාසක උපාසිකාවන් 900 දෙනෙක් සඳහාත්, එදින ළමා ශීල සමාදානයට සහභාගී වූ දරුවන් 100 දෙනෙක් සඳහාත් ශ්‍රී ජිනානන්ද ළමා නිවාසයේ තවත් දරුවන් 50 දෙනෙක් සඳහාත් දහවල් දානය පූජා කිරීමට අප කටයුතු කළ ආකාරයයි මේ.

දන් වැළඳීමෙන් අනතුරුව මහා සඟරුවනේ පරිහරණය සඳහා අත්‍යවශ්‍යම වූ අටපිරිකර ඇතුළු සෙසු පිරිකර පූජා කොට සංඝයා වහන්සේ පිදීමටත්, ඉන් පිං රැස් කර ගන්නටත් තරම් අප භාග්‍ය වන්තයෝ වුණා.

චිත්ත ප්‍රසාදය මුල් කොට ගනිමින් උතුම් තෙමඟුල දා ආර්යයන් වහන්සේලා අනුගමනය කරමින් ශීල සමාදානයේ යෙදෙන සුපින්වතුන් උදෙසා විශ්ව පාරමී අප පදනම විසින් සිදු කරන ලද මෙම දානමය පුණ්‍ය කටයුත්ත බුදු දහමේ අර්ථයන් චිරාත් කාලයක් ආරක්ෂා වීම පිණිසම හේතු වේවා!!!

උතුම් ශීලය සමාදන් වූ පින්වතුන්ට සහ මෙම දානමය පුණ්‍ය කටයුත්ත උදෙසා කැපකිරීම් සිදු කළ විශ්ව පාරමී පදනමේ සියලුම සාමාජිකයන්ටත් ඔවුන්ගේ නමින් පිං බලාපොරොත්තු වන සංසාරයක් පුරා ඔවුන්ට රැකවරණය දුන් යම් ඥාතියෙක් වේද ඔවුන්ටත්, මෑත කාලයේ සිදු වූ බිහිසුණු විපත් වලින් මිය ගිය සියලුම දෙනාටත්, බුදු දහමේ චිර පැවැත්ම මෙන්ම සිය ආධ්‍යාත්මික විමුක්තිය පිණිසත් කටයුතු කරන්නා වූ යම් ගිහි පැවිදි උතුමෙක් වේද ඒ සියලු දෙනාටත්,

රටේ සාමය ආරක්ෂා කරන පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්ටත්

මේ සියලු පිං අනුමෝදන් වෙත්වා!!! 

වෙසක් දානය 2018

භික්ෂු වාට්ටු සංකීර්ණය ප්‍රතිසංස්කරණය

ජේසුස් වහන්සේත්, බුදුන් වහන්සේත් මෙන්ම ලොව පහළ වූ සෑම ආගමකම ශාස්තෘන් වහන්සේ කෙනෙක් විසින්ම ගිලන් වූවන්ට උපස්ථාන කිරීමේ වටිනාකම ලොවට ඉගැන් වූ සේක. ජේසුස් වහන්සේ විසින් අන්ධ වුවෙකුට පෙනීම ලබා දීමත්, මහා කාරුණික වූ අසම සම වූ ලොවුතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් ගිලන් වූ පුතිගත්තතිස්ස තෙරුන් වහන්සේ ට උපස්ථාන කිරීමෙනුත් එය ලොවට ප්‍රකට කල සේක.

එය ආදර්ශයට ගනිමින් ඒ මඟ යන විශ්ව පාරමී අප පසුගියදා මාරවිල රෝහලෙහි පැවැති අබලන් වූ භික්ෂු වාට්ටුව සම්පූර්ණයෙන්ම නැවත පිළිසකර කරන්නට කටයුතු කළ ආකාරයයි මේ.

මෙහි කාර්යාල කාමරය වෙනමම සැකසීමටත්, භික්ෂු වාට්ටුව කාමර දෙකක් ආකාරයටත් ඒ හා සම්බන්ධ කර තැනූ නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත වූ නාන කාමර දෙකක් තැනීමටත්, සුව පහසු ඇඳන් පරිත්‍යාග කිරීමත් නිසා භික්ෂු වාට්ටුව වර්තමානයේ දිස්වන අකාරයයි මේ.

පෙර තිබුණු භික්ෂු වාට්ටුව වෙනුවට ගිලන් වූ භික්ෂුන් වහන්සේලාට ප්‍රතිකාර ලබා ගැනීමට ඉතාමත් සුදුසු අලංකාර භික්ෂු වාට්ටුවක් තනා දීමට විශ්ව පාරමී අප සැවොම සමත් වුනා. සියලු වැඩ නිමවා අවසානයේ එම ස්ථානයේ ගරුතර මහා සංඝ රත්නය උදෙසා දන් පිළිගැන්වීමෙන් අනතුරුව මහ සඟරුවනේ පරිහරණයට පූජා කරන්නටත් මෙසේ කටයුතු කළා.

බුදු දහමේ ප්‍රගමනය සඳහා දායක වෙමින් තම සසර ගමන කෙටි කර ගන්නට වෙහෙසෙන සැරියුත් මුගලන් ආදී ආර්ය මහා සංඝ රත්නයෙන් පැවැත එන්නා වූ උතුම් මහා සඟ රුවනට මේ සියලුම පූජාවන් පූජා කරමි! පූජා කරමි! පූජාම වේවා !!!

වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන

විශ්ව පාරමී සම සේවක සේවිකාවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් විශ්ව පාරමී වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන ඉතා සාර්ථකව මෙවරද පැවැත්වුණි. ඊට අපගේ කල්‍යාණ මිත්‍රයන් සෑහෙන පිරිසක්ද දායකවූ බව සතුටින් සටහන් කරමු. මෙම වැඩසටහන නිමවන විට 80 දෙනෙකු ලේ පරිත්‍යාග කොට තිබුණි.

වැඩිහිටි නිවාස අක්ෂි කඳවුර

දරුවෙකුට, මැස්සෙකුට වත් ලං වෙන්න නොදී තමන්ගේ ඇස් දෙකේ තියාගෙන ආදරෙන් හදපු වඩපු දරුවෝ ටිකෙන් ටික වයසට යනකොට, ඇවිද ගන්න බැරුව එක්තැන් වෙනකොට කරදරයක් කියල හිතල මහලු නිවාසෙකට ගිහින් දැම්මේ පුංචි කාලේ වැටි වැටි නැගිටින්න හදනකොට අතදුන්න අම්මා තාත්තා කියන එක ගොඩක් දරුවන්ට අමතක වෙලා. 

පැය 24 ම තමන්ගේ ඇකයේ තියාගෙන හදපු දරුවන්ට අඩුම තරමේ මාසයකට දවසක් වත් තමන්ගේ අම්මා තාත්ත ගැන හොයල බලන්න බැරි තරමටම කාර්යබහුල වෙලා. ඒත් ඒ දෙමවුපියන්ට දැනෙන දුක වේදනාව අමතක කරලා දරුවෙක්ගෙන් වෙන්න ඕනේ යුතුකම් ඉටුකරන්න විශ්ව පාරමී අපි හැමදාමත් කටයුතු කරනවා.

ඒ අනුව, අපි වැඩිහිටි නිවාස වල මවු පියවරුන් වෙනුවෙන් තවත් අලුත් වැඩසටහනක් ආරම්භ කළා. ඒ තමයි ඔවුන්ගේ ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහන. මේ යටතේ පහුගිය මාසයේ අපි ඇස් පරීක්ෂා කරන ලද

ඇස් පරීක්ෂා කළ වැඩිහිටියන් 113 දෙනාගෙන් මවුවරුන් 16 දෙනෙකුගේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සිදු කිරීමට නියම කෙරුණු අතරම, මවුවරුන් 08 දෙනෙකුගේ සැත්කම් ඉතාමත් සාර්ථකව සිදු කරන්නට අපට හැකියාව ලැබුණා. දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් වැනි රෝගී තත්වයන් මත වැඩිහිටියන් 08 දෙනෙකුගේ සැත්කම් සිදු කිරීමට නොහැකි වූ අතරම, එම රෝගයන් සඳහා ප්‍රතිකාර ලබා දෙන අතරම යම් පමණකට පාලනය වූ පසු එම වැඩිහිටියන් සඳහා ද මේ ශල්‍යකර්මයන් සිදු කිරීමටද අප බලොපොරොත්තු වෙනවා.  

මෙම සියළු ව්‍යාපෘතීය සාර්ථක කරගැනීමට විශ්ව පාරමීයට සහය වූ නිමල් මහතා ඇතුළු අක්ෂි විශේෂඥයන් කණ්ඩායමටත්, බිබිල ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ වෛද්‍යතුමා ඇතුළු කාර්යමණ්ඩලටත් නන් අයුරින් සහයවූ සැමටත්, මෙම ව්‍යාපෘතින් සංවිධානය කල විශ්ව පාරමී කණ්ඩායම මෙන්ම විශ්ව පාරමී සෙසු සාමාජිකයන් මෙන්ම මේ කටයුතු  දැක සතුටුවූ සියළු දෙනාටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා!


භාෂාව තෝරන්න