තම කුසට අහරක් නැතිව, නෙතට නිදි නැතිව, රැය පහන් කරමින් මතු දවසක තම පුතුන් රජුන් කරන්නට උතුම් අම්මාවරුන්, උතුම් පියවරුන් විඳින ලද අනේකවිද දුක් කඳුළු පිසදා සිනාසෙන්නටත්.. ඔවුන්ගෙන් සැනසෙන්නටත් සිතූ පැතූ එම සිහින බොඳව ගොස්, මහළුව ගතින් දුබල වූ ඔවුන්ගේ එකම පිළිසරණ වූ මහළු නිවාසයක බිත්ති අතර තනිව, තම ජීවිතය ගෙවා දමනා ඔවුන්ගේ දෙනෙත් නිතර කඳුලින් තෙමී බොඳව යන්නේ තම දුවා දරුවන් තමා ළඟ සිටිය යුතුම වූ අවධියේ ඔවුන් තමා අතැර යාමේ වාවාගත නොහැකි වූ දුක ඉවසා දරා ගත නොහැකිම වූ නිසාවෙනි.
වාරුව නැති වී පාළුව සමඟින් මහලු වෙලා මා ඉන්න වෙලේ
මා පිළිගන්නට බලා සිටින්නේ මරණය හැර වෙන කවුද ලොවේ
ඉඳහිට කවුරුත් මාව බලන්නට එනවිට සිත තුළ සතුට පිරේ
පාළුව තනිකම මකා දමන්නට නිතරම කඳුළැලි දෙනෙතේ රැඳේ
එළිවෙයි රෑ වෙයි දවස ගෙවී යයි වෙනසක් මට නෑ තේරෙන්නේ
දවසේ පැය ටික ගෙවා දමන්නට නිදි පැදුරේ ඉඳ නොමැරී මැරේ