කාල දානය

  2,835 views

ආහාර හිඟ දුර්භික්ෂ කාල වලදී පිරිනමනා දානය සංසාර ජීවිතයේදී සුදුසු කල්හි සුදුසු දේ ලැබීම පිණිස හේතු වන්නා වූ මහත් ඵල මහානිසංස “කාල දානයක්” ලෙස භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේ කාල දාන සුත්‍රයේදී දේශනා කොට තිබේ.  එබඳු “කාල දාන” පූජා කිරීමට සෑම කල්හිම අපහට අවස්ථාව නොලැබේ. මේ උදා වී ඇත්තේ එබඳු අවස්ථාවකි.

vishvaparami_aranaya_senasana

අප මාතෘ භුමිය පුරා කෝවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ ඇතිවී තිබෙන හදිසි තත්ත්වය නිසා බොහෝ දෙනෙකු හට එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය ආහාර පාන පවා සපයා ගැනීමට දුෂ්කර තත්ත්වයක් ඇතිවී තිබේ. ගිහි ජනතාව එවන් අපහසුතාවයන් වලට පත්වන විට එකී ගිහි ශ්‍රාවකයන්ගෙන් ලැබෙන්නා වූ සිවු පසයෙන් තම බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහ ලබනා පින්වත් ස්වාමින් වහන්සේලා සහ දසසිල් මාතාවන්ද, වැඩිහිටි නිවාස සහ ළමා නිවාස වල පිළිසරණ ලබනා අපේම මව් පිය දූ දරුවන්ද දැඩි අපහසුතාවයන්ට පත්වීම නිරායාසයෙන්ම සිදුවේ.

එවන් තත්ත්වයක් තුල සිව්පසය හිඟ වීමෙන් අපහසුතාවයන්ට ලක්වන සිල්වත් ගුණවත් මහා සංඝරත්නයටත්, දසසිල් මාතවන්ටත් මෙන්ම වැඩිහිටි නිවාස, ළමා නිවාස ආදියෙහි අසරණව සිටිනා අපේම දෙමව්පිය, දූ දරු පිරිසටත් දුගී යාචක පිරිසටත් මේ දුෂ්කර මොහොතේ උපකාර කිරීමෙන්, ඊට දායක වීමෙන්  අප සියලු දෙනා මේ රැස් කරන්නේ මහත්ඵල මහානිසංසදායක “කාල දානමය” පිනකි. එනිසා සතුටුවන්න. මේ රැස්වන පින සංසාර ජිවිතයේ සුදුසු කාලයේදී, සුදුසු දේම ලැබීම පිණිස ඒකාන්තයෙන්ම ඔබහට හේතු වාසනා වනු ඇත. මේ අනුව නිරෝදාන ඇදිරිනීතිය බලපැවැත්වෙන බස්නාහිර පළාතේ,  අරණ්‍ය සේනාසන 25  කටත්, වැඩිහිටි නිවාස 39 කටත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන 83 කටත් කොළඹ අවට ජීවත් වන්නා වූ අසරණ දුගී යාචක පිරිසටත්  “ කාල දානය” පූජා කිරීමට තරම් විශ්ව පාරමී කණ්ඩායමේ අප භාග්‍යවන්තයන් වුණෙමු.

වැඩිහිටි නිවාස සහ ළමා සංවර්ධන මධ්‍යස්ථාන
අසරණ දුගී යාචකයන්

මේ උදාර කර්තව්‍ය සඳහා වෙහෙසී ක්‍රියා කරමින් කැපවන පින්වත් විශ්ව පාරමී සමසේවක කණ්ඩායමත්  මෙන්ම මෙම පිංකම දැක බලා සතුටුවන සෙසු සාමාජිකයන් සහ කල්‍යාණ මිතුර කැලත් මේ පින් අනුමෝදනා වී, එහි පුණ්‍යානුභාවයෙන් ඔබ සැම නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!


1 Comment

Comments are closed.


Latest Posts

භාෂාව තෝරන්න